පසුගිය වසර 5 තුළ දූෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව එක තැන පල් වෙලා

 ඡායාරූපය:

පසුගිය වසර 5 තුළ දූෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව එක තැන පල් වෙලා

දුෂණයට එරෙහි ගෝලීය එකමුතුව වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් එළි දක්වනු ලැබූ දූෂණ සංජානන දර්ශකයට (CPI) අනුව පසුගිය වසර 5 තුළ ශ්‍රී ලංකාව කිසිදු ප්‍රගතියක් පෙන්නුම් කිරීමට අසමත්ව ඇති බවත් ශ්‍රී ලංකාව පෙර වසරේ ලබා ගත් අගය ලබා ගනිමින් දූෂණ සංජානන දර්ශකය තුළ 38 වැනි ස්ථානයේ තවමත් පසුවන බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂල් ආයතනය ඊයේ (23) නිකුත් කළ වාර්තාවකින් හෙළි වෙයි.

දූෂණ සංජානන දර්ශක පරිමාණය ලකුණු දීම 0 (බෙහෙවින් දූෂිත) සිට 100 (ඉතා පිරිසිදු) දක්වා ආකාරයට අගයන් ලබා දීම සිදු වේ. දකුණු ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාව ලබාගත් අගය අනුව එය භූතානය (68) සහ ඉන්දියාව (41) යන රටවල් දෙකටත් වඩා පසුපසින් බව එම නිවේදනයේ සඳහන් වේ. එමෙන්ම ආසියානු පැසිෆික් කලාපීය සාමාන්‍ය අගය 45ක් වන අතර ශ්‍රී ලංකාව එයටද පිටුපසින් සිටින බවත් 2013 වසරේ සිට 36 සහ 38 යන අගයන් අතර ඉහළ පහළ යමින් වාර්තා වන දූෂණ සංජානන දර්ශක දත්ත හරහා පිළිබිඹු වන්නේ ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී වාතාවරණය එක තැන පල් වන තත්ත්වයක් බවත් එහි සඳහන් වේ.

ශ්‍රී ලංකාව, දූෂණ සංජානන දර්ශකයේ ලබා තිබෙන අගය පිළිබඳ අදහස් දක්වමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා පැවසුවේ දූෂණ සංජානන දර්ශකය මගින් හුවා දක්වන්නේ රාජ්‍ය අංශයේ සිදු වන දූෂණයන් වන අතර මෙම දර්ශකය තුළ එකම අගයක් ලැබීමට හේතුව වී ඇත්තේ යහපත් ප්‍රගතියක් පෙන්වීමට නොහැකි වූ දූෂණ නඩු විශාල සංඛ්‍යාවක් අධිකරණ පද්ධතිය තුළ හිර වී පැවතීම බවයි.

රටවල් 180ක රාජ්‍ය අංශයේ වාර්තා වන දූෂණ ක්‍රියාකාරකම් මැනීම සඳහා 2018 වර්ෂයේ දූෂණ විරෝධී සංජානන දර්ශනය ගණනය කිරීමේදී සමීක්ෂණ සහ විශේෂඥ ඇගයීම් 13ක් යොදාගෙන ඇති අතර එහි ප්‍රතිඵල අනුව ඩෙන්මාර්කය සහ නවසීලන්තය ලකුණු 87ක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානය ගෙන ඇති අතර ලකුණු 09ක් ලබා ගනිමින් සෝමාලියාව එහි අවසන් ස්ථානයේ පසු වේ.

[දිනුක මලින්ද හේරත්]

News Order: 
1
මාතෘකා