ශ්‍රී ලංකාව තුළ සාධනීය පරිවර්තනයක් සිදු වී තිබෙනවා - රුසියානු විදේශ ඇමති පවසයි

 ඡායාරූපය:

ශ්‍රී ලංකාව තුළ සාධනීය පරිවර්තනයක් සිදු වී තිබෙනවා - රුසියානු විදේශ ඇමති පවසයි

තමා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ සේවයේ නියුතුව සිටියදී දක්නට ලැබුණාට වඩා සාධනීය පරිවර්තනයක් රට තුළ සිදුව ඇති බව ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේදී රුසියානු විදේශ විදේශ කටයුතු අමාත්‍ය සර්ගේ ලැව්රෝව් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට ලද අවස්ථාව පිළිබඳව තමා අතිශය සතුටට පත්වන බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

ආර්ථික සංවර්ධනය, මානවවාදී අභිලාෂ හමුදා සහයෝගිතාව සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳව ජනාධිපතිතුමා සහ ලැව්රෝව් අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කෙරිණි.

මෙරට චාරිකාවක නිරතවීම පිළිබඳව ජනාධිපතිතුමා රුසියානු විදේශ අමාත්‍යවරයාට සිය ස්තූතිය පුද කළේය. දෙරට අතර නව ගුවන් ගමන් ඇරඹීමේ හැකියාව පිළිබඳවද සොයා බැලිණි.

ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී රුසියාව කැඩෙට් සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන ආරම්භ කළ බව සිහිපත් කළ විදේශ අමාත්‍යවරයා මේ වන විට එය සිසුන් 70 දක්වා ඉහළ නංවා ඇති බව පැවසීය.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැට්රි (Yuri Materiy) මහතා ඇතුළු රුසියානු නියෝජිත පිරිසක්ද, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බි. ජයසුන්දර, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[දිනුක මලින්ද හේරත්]

News Order: 
5
මාතෘකා