ආලෝකයෙන් අඳුර නැසෙන්නා සේ සමගියෙන් අසමගිය දුරු වන සුබ තෛපොංගල් මංගල්‍යයක් වේවා!

 ඡායාරූපය:

ආලෝකයෙන් අඳුර නැසෙන්නා සේ සමගියෙන් අසමගිය දුරු වන සුබ තෛපොංගල් මංගල්‍යයක් වේවා!

- ජනපති - අගමැති සුබ පතති

ලෝකවාසී දෙමළ ජනතාව මෙන්ම තෛපොංගල් මංගල්‍යය සමරන ශ්‍රී ලාංකේය දෙමළ සහෝදරත්වය සමඟ තමන්ද සතුටින් එක් වන බවත් කෘෂිකර්මය මූලික කොට ජීවනෝපාය සලසා ගන්නා සියලු දෙනා මෙදින සූර්ය වන්දනාව සිදු කර සූර්ය දෙවියන්ට කෘතගුණ දක්වමින් අභිවෘද්ධිය අපේක්ෂා කරන බවත් ආලෝකයෙන් අඳුර නැසෙන්නා සේ සමගියෙන් අසමගිය දුරු වන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය තෛපොංගල් නිවේදනය නිකුත් කරමින් පවසයි.

තෛපොංගල් උත්සවයත් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් සමාජ කණ්ඩායම් අතර ඇති වන නවමු බැඳීම පවුල් ඒකකයේ සිට සමස්ත සමාජය පුරා විහිද යන බව සිය නිවේදනයෙන් පවසන ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පවසයි.

"තෛපොංගල් උත්සවය මගින් දෙමාපිය දූදරු, ගුරු දෙගුරු ඥාති හිතමිත්‍රාදීන් මෙන්ම පාලකයන් පාලිතයන් අතරද මානව ගුණයෙන් යුතු සාමාජයීය බැඳීම තවදුරටත් ශක්තිමත් වනු ඇති බව මාගේ විශ්වාසයයි.

“තෛපොංගල් උත්සවයෙන් අපේක්ෂිත අරමුණු සාධනය කරගැනීමට නම් ලක්වැසි සියලු දෙනා එකිනෙකා අවබෝධ කර ගත යුතුය. එය ආකල්පමය වශයෙන් පළමුවද ක්‍රියාත්මක කිරීමෙන් දෙවනුවද යථාර්ථයක් බවට පත් කරගැනීමට තෛපොංගල් දිනයේදී සිතට ගැනීම වැදගත්ය.

“ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සෞභාග්‍යය කරා ගමන් කළ යුත්තේ එකී පදනම මත පිහිටා සිටිමිනි. ජාතික අරමුණු සාක්ෂත් කර ගැනීම සඳහා අප සියලු දෙනා එකට එක්විය යුතු අතර එම ඉලක්කය වෙත ළඟා වනු පිණිස ශ්‍රී ලංකාව සිය මව්බිම ලෙස දකින්නයි ලොව විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකික සහෝදර දෙමළ ජනතාවට මම ආරාධනය කරමි.

“තෛපොංගල් දින වන්දනාවට පාත්‍ර වන සූර්යයා ජීවිතයට ශක්තියත් ගනඳුරු දුරලන ආලෝකයත් වන්නේ යම් සේද උත්තරීතර මානුෂීය ගුණාංගවලින් ඔබේ ජීවිතයද ප්‍රභාමත් වේවායි ප්‍රාර්ථනය කරමි."

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය තෛපොංගල් සුබ පැතුම් පණිවුඩයෙන් මෙසේ පැවසීය.

"ශ්‍රී ලංකාව යනු විවිධ ජාතින් එකමුතුව, සහයෝගයෙන් ජීවත්වන සාමකාමී රටක්. ඒ සෑම ජාතියකටම ඔවුනොවුන්ට අවේණික වූ වර්ණවත් සංස්කෘතිකාංග රැසක් ඇති අතර ඒ වර්ණවත් සංස්කෘතිකාංග ශ්‍රී ලංකා මාතාව විචිත්‍රවත් කිරීමට සමත් වන බව මම විශ්වාස කරමි. දමිළ ජනතාව සමරන තෛපොංගල් දිනයද එවන් වූ විචිත්‍රවත් උත්සවයකි.

“අතීතයේ සිටම කෘෂි කර්මාන්තය හා එකට බැඳුණු ආර්ථිකයකට සහ ජීවන රටාවකට දමිළ ජනයා උරුමකම් කියයි. පරිසරය සමඟ සුහද ගනුදෙනුවක නිරත වන දමිළ හින්දු බැතිමතුන්ගේ අස්වනු මංගල්‍යය තෛපොංගල් ලෙස හඳුන්වයි. වැඩි අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හිරු දෙවියන්ට ස්තුති කිරීම සඳහා මෙම උත්සවය පවත්වයි. තෛපොංගල් උදාවත් සමඟ නව බලාපොරොත්තු පිරි නව ආරම්භයක් සහ නව වසරක් සනිටුහන් කරයි.

“අප සියලු දෙනාටම සුහදත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය උදා කර ගත හැකි වැදගත් අවස්ථාවක් ලෙස මේ උත්සවය හැඳින්විය හැක. ජාතීන් අතර ඇති දුරස් බව අවම කරගැනීමට මෙන්ම ඔවුන් අතර ඇති සහජීවනය වර්ධනය කරගැනීමටද තෛපොංගල් වැනි වර්ණවත් උත්සව මනා පිටිවහලකි.

“ශ්‍රී ලාංකික සහ ලොව වටා වෙසෙන සියලුම දමිළ හින්දු බැතිමතුන් වෙත සෞභාග්‍යමත් සුබ තෛපොංගල් දිනයක් මම ප්‍රාර්ථනා කරමි."

News Order: 
3
මාතෘකා