නාට්‍ය කලාව දිග්විජය කළ ජයලත් මනෝරත්නයන්ගේ වියෝව බලවත් පාඩුවක් - ජනපති

 ඡායාරූපය:

නාට්‍ය කලාව දිග්විජය කළ ජයලත් මනෝරත්නයන්ගේ වියෝව බලවත් පාඩුවක් - ජනපති

ශ්‍රී ලාංකේය වේදිකාවේ විශිෂ්ටතම නිර්මාණකරුවන්ගේ නාමලේඛනයට ජයලත් මනෝරත්න නාමයද එක් වී ඇති බවත් ආදරණීය පුරවැසියෙකු ගොඩනැඟීමේ පියවරට රට අවතීර්ණ වී ඇති මොහොතක ජයලත් මනෝරත්නයන්ගේ අභාවය කලාවට මෙන්ම සමාජීය වශයෙන්ද බලවත් පාඩුවක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (14) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ජනාධිපතිවරයාගේ එම ශෝක පණිවුඩයේ මෙසේද සඳහන්ය.

"ශ්‍රී ලාංකේය කලා කෙත පෝෂණයට සුවිශේෂී මෙහෙවරක් කළ ප්‍රවීණ නාට්‍යවේදියෙකු වූ රංගධර ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ අභාවයෙන් සංවේගයට පත් ඔහුගේ රසික සමූහයා සමඟ මමද සංවේගයෙන් යුතුව එක්වන්නේ ඔහුගේ කලා කෘති රසවිඳි අතීත මතකයද සමඟිනි.

"මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන් සෙවනෙහි සිය නිසඟ කුසලතා පුබුදු කරගත් ජයලත් මනෝරත්නයන් ශ්‍රී ලාංකේය වේදිකාව රංගනයෙන් හා නිර්මාණ ප්‍රතිභාවෙන් අතික්‍රමණය කළ අග්‍රගණ්‍ය නාට්‍යකරුවෙකු බව අවිවාදිතය. ඔහු සාම්ප්‍රදායික නාට්‍ය කලාව හදාරා ඒ තුළින් නව මානයන් සොයා කළ නව නිර්මාණ අපේ රඟමඩලට නව අගයක් එක් කළේය. ඒ නිසාම ඔහුගේ නිර්මාණ වටා විශාල රසික පිරිසක් රොද බැඳ ගත්හ. ශ්‍රී ලාංකේය වේදිකාවේ විශිෂ්ටතම නිර්මාණකරුවන්ගේ නාමලේඛනයට ජයලත් මනෝරත්න නාමයද එක් වී ඇත.

"නාට්‍ය කලාව දිග්විජය කළ ජයලත් මනෝරත්නයන් තුළ වූ ගැඹුරු හැදෑරීම තවත් ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ දේශීය කලාව පෝෂණය කළේය. සිනමාව, රූපවාහිනිය, ගේය පද රචනය, සාහිත්‍ය විචාරය ආදී වූ බොහෝ තැන් ඒ අතර වෙයි. විශේෂත්වය වන්නේ ඒ සෑම අංශයකින්ම ඔහු යහපත් සමාජයක් ප්‍රාර්ථනා කිරීමය. මනෝරත්නයන් ගැමි පරිසරයෙන් ලැබූ අත්දැකීම් සහ අත්නොහළ ගැමිකමද ඊට පාදක වන්නට ඇතැයි මම විශ්වාස කරමි."

News Order: 
2
මාතෘකා