ගිනිගත්හේන වෙඩි තැබීම

 ඡායාරූපය:

ගිනිගත්හේන වෙඩි තැබීම

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායකගේ ශාරීරාරක්ෂක නිලධාරීන් දෙදෙනකු විසින් පෙරේදා (7) පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා තිබේ. ගිනිගත්හේන හිටිගේගම ප්‍රදේශයේදී සිදු කළ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තරුණයන් දෙදෙනා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටිති.

මෙරට පැවති ජනාධිපතිවරණවලට සාපේක්ෂව සාමකාමීම ජනාධිපතිවරණයක් ලෙස මෙතෙක් කියැවුණු මෙවර ඡන්ද ව්‍යාපාරය මෙම වෙඩි තැබීමත් සමඟ මෙරට මැතිවරණ ඉතිහාසයේ අඳුරු අත්දැකීම් පිළිබඳ ජනතා මතකය අවදි වේ. මේ ඒ පිළිබඳව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කිහිපයකින් 'රැස' කළ මත විමසීමයි.

මෙවැනි සිදුවීම් සාමකාමී මැතිවරණ පරිසරයට හානියක් 
- කැෆේ සංවිධානයේ වැඩ බලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස්

2015 වසරේ ජනාධිපතිවරණය සමඟ බැලුවොත් මේ වසරේ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාරදීලා දින 27ක් යනතුරු ඉතා සාමකාමී වාතාවරණයක් තිබුණේ. මේ වෙද්දි නාමයෝජනා බාරදීලා මාසයක් වෙනවා. නමුත් පසුගිය දින තුන තුළ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා වර්ධනය වීමක් දකින්න ලැබුණා. මීට පෙර සිදුවීම් දෙකක් අපිට ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වුණා. පෙෙර්දා (06) ගිනිගත්හේන ප්‍රදේශයේදී එස්. බී. දිසානායක මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරීන් සිදුකළ වෙඩි ප්‍රහාර සම්බන්ධ සිදුවීමත් සමඟම දැන් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් හැමෝම කතා කරන්න පටන් අරගෙන තියෙනවා. මේ සිදුවීම අදාළ පක්ෂයට ගැටලුවක් වෙන්නත් පුළුවන්. මෙවැනි සිදුවීම් නිසා පාක්ෂිකයන් ඇතුළු මහජනතාවට අපැහැදීමක් ඇති වෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් පක්ෂයේ අභ්‍යන්තර පරීක්ෂණයක් නොකළහොත් එය පක්ෂයේ ඡන්ද පදනමට හානියක් වෙන්න පුළුවන්. මෙවර ජනාධිපතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් අවම වෙලා තියෙන වාතාවරණයක මෙවැනි සිදුවීම් සිද්ධ වුණාම ඒක මැතිවරණ පරිසරයටත් හානියක්. ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් තොර ජනාධිපතිවරණයක් සඳහා සියලු ආධාරකරුවන්ව ජනාධිපති අපේක්ෂකයන් දැනුවත් කරන්න ඕනේ; මෙවැනි සිදුවීමක් නැවත සිදු නොවෙන්න. විශේෂයෙන් පළාත් පාලන මන්ත්‍රීවරුන්ව මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න ඕනේ. අපේ නිරීක්ෂණවලට අනුව පසුගිය මැතිවරණවලදී ඍජුවම ප්‍රචණ්ඩක්‍රියා පළාත් පාලන නියෝජිතයන් හරහා සිදුවෙලා තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඔවුන්ව දැනුවත් කරන්න ඕනේ.

මෙවැනි දේශපාලකයන් මහජන නියෝජිතයන් ලෙස පත් කිරීම සුදුසු නැහැ 
- පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි

මෙවැනි ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඕනෑ තරම් සිදුවෙන්න පුළුවන්. අපට වාර්තා වුණු ආකාරයට මේ සිදුවීම මැතිවරණයට අදාළ සිදුවීමක් නෙවෙයි. මේක මැතිවරණ සමයේදී සිදුවුණු සාමාන්‍ය ප්‍රචණ්ඩකාරී සිදුවීමක්. මේකෙන් පිළිබිඹු වෙන්නේ දේශපාලකයන්ගේ පිරිහීම. ගිනිගත්හේන ප්‍රදේශයේ ඇති වූ සිදුවීමේ මේ තරුණයන් දෙදෙනාට වෙඩි තැබූ ආරක්ෂක නිලධාරීන්ට අහසට වෙඩි තබා හෝ වෙනත් ක්‍රමයකින් ඔවුන්ව බියවද්දන්න තිබුණා. අපට වාර්තා වුණු ආකාරයට මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරීන් ගමන්ගත් වාහනය එම තරුණයන් ගමන්ගත් වාහනයට දැම්මා කියලා ඒ තරුණයන් වෙනත් ආකාරයකින් මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයන් ගමන් ගත් වාහනය අවහිර කළා කියලා මේ වෙඩි තැබීම කරලා තියෙන්නේ. මේ සිදුවීමෙන් පේන්නේ දේශපාලකයන්ගේ පිරිහීම. දේශපාලකයාට තමා මහජන නියෝජිතයෙක් හැටියට මේ තත්ත්වය සමනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. මම හිතන්නේ මේ වගේ ප්‍රශ්නයක් සමාකාමීව විසඳගන්න නොහැකි දේශපාලකයන් මහජන නියෝජිතයන් ලෙස පත් කිරීම සුදුසු නැහැ.

මැතිවරණ කොමිසම අවධානය යොමු කළ යුතුයි 
- පොදු දේපළ සුරැකීමේ වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක ලක්විජය බණ්ඩාර

මම හිතන විදිහට පසුගියදා ගිනිගත්හේන ප්‍රදේශයේ සිදුවුණු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සහ මැතිවරණ කොමිෂන් සභාව පුළුල් අවධානයක් යොමු කළ යුතුයි. මේ සම්බන්ධයෙන් නීතිය අනුව ක්‍රියාත්මක වීම තමයි හොඳම දේ. ඒ වගේම පක්ෂවලිනුත් මේ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි. ජනාධිපතිවරණ අවස්ථාවක මෙවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් සිදුවුණාම මහජනතාව බිය වෙනවා. විශේෂයෙන් මැතිවරණ කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි. දැනට වාර්තා වුණු ප්‍රචණ්ඩ සිදුවීම් අතරින් බරපතළම සිදුවීම ගිනිගත්හේන ප්‍රදේශයේ සිදුවුණු වෙඩි තැබීමේ සිදුවීම. මේ ගැන කරුණු අපිට වාර්තා වුණා. නමුත් සමහර දේවල් හරියට වාර්තා වුණේ නැහැ. ඒ නිසා මේ ගැන අපේ නිරීක්ෂකයන් දාලා තවත් තොරතුරු එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ සිදුවීම ගැන දෙපැත්තෙන්ම බලන්න ඕනේ. මහජනතාව මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් විමසිල්ලෙන් ඉන්න ඕනේ. බිය විය යුතු නැහැ. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් අවදියෙන් ඉඳලා අදාළ ආයතනවලට නොබියව පැමිණිලි කරන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

[නිර්මාණී බණ්ඩාරනායක]

News Order: 
13
මාතෘකා