එස්. බී. ගේ රථය හරස් කළ වෑන් රථයකට එස්. බී. ගේ ආරක්ෂකයන්ගෙන් වෙඩි

 ඡායාරූපය:

එස්. බී. ගේ රථය හරස් කළ වෑන් රථයකට එස්. බී. ගේ ආරක්ෂකයන්ගෙන් වෙඩි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතාගේ රථය අවහිර කළා යැයි පවසමින් මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා විසින් පුද්ගලයන් දෙදෙනෙකුට පෙරේදා (6) රාත්‍රී වෙඩි තබා තිබේ.

ගිනිගත්හේන පොලිස් වසමට අයත් කොත්තැලහේන ප්‍රදේශයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම්වලට සහභාගි වූ එස්. බී. දිසානායක මන්ත්‍රීවරයා සහ ආරක්ෂක නිලධාරීන් ගිනිගත්හේන පොල්පිටිය මාර්ගය හරහා හිටිගේගම ප්‍රදේශයේදී වාහනවලින් පෙරේදා (06) රාත්‍රියේ ගමන් කරමින් සිටියදී වෑන් රථයක් මන්ත්‍රීවරයාගේ ආරක්ෂක අංශය නිලධාරීන් ගමන්ගත් වෑන් රථයේ ඉදිරිපස පැති කණ්ණාඩියක ගැටී ඇත. එම වාහනය විවාහ මංගල උත්සවයකට සහභාගී වී නාවලපිටියේ සිට පොල්පිටිය හරහා මිනුවන්දෙණිය දක්වා ගමන් කරමින් සිටියදී මෙය සිදුව ඇත. අනතුරත් සමඟ ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් සහ තරුණයන් පිරිස අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා ඒ ස්ථානයට පැමිණ සිද්ධිය සමථයකට පත්කොට පිටව ගියේය.

එහෙත් මන්ත්‍රී ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් වෑන් රථයේ ගමන් කළ අයට පිස්තෝලයකින් වෙඩි තැබූ බව වෑන් රථයේ ගමන් කළ අය පවසති. වෑන් රථයේ ගමන් ගත් පිරිසෙන් දෙදෙනකුට වෙඩි වැදී ඇ‍ත. වෙඩි වැදීමෙන් එක් අයකුගේ දකුණු අතටත් අනෙක් අයගේ වම් පාදයට තුවාල සිදුවී දෙදෙනාම කිතුල්ගල තැලිගම ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ. පසුව ඔවුන් ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට සහ කරවනැල්ල මූලික රෝහලට මාරු කර යවා තිබේ.

මෙම සිදුවීමෙන් අනතුරුව තලාතුඔය පොලිසියට ලද පැමිණිල්ලක් අනුව ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් නිලධාරීන් දෙදෙනා, වෑන් රථය සහ වෙඩි තැබීමට උපයෝගි කරගත් පිස්තෝල දෙක හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සැකකරුවන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

වෙඩි තැබීම සිදු කළ බව කියන ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරින් තලාතුඔය පොලිසිය වෙත ගොස් ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේදී තරුණයන් පිරිසක් වාහනයක් හරස් කර තමන්ට පහර දීමට උත්සාහ කළ බවට පැමිණිල්ලක් දමා ඇත.

පසුව අත්අඩංගුවට ගන්නා ලද ආරක්ෂක නිලධාරීන් දෙදෙනා තලාතුඔය පොලිසිය මඟින් වැඩිදුර පරික්ෂණ සඳහා ගිනිගත්හේන පොලිසියට බාරදී තිබේ. එසේම මෙම ප්‍රවෘත්තිය ආවරණය කිරිමට ගිනිගත්හෙන් පොලිසියෙන් මාධ්‍යවේදීන්ට අවසර ලබාදී නොමැත. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් දැඩි කනගාටුව පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පැවසීය.

[අසේල කුරුළුවංශ] [ගිනිගත්හේන විශේෂ ගුණසේන]

News Order: 
10
මාතෘකා