සියලු දෙමළ පක්ෂවල සහාය සජිත්ට

 ඡායාරූපය:

සියලු දෙමළ පක්ෂවල සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තීරණය කර තිබේ.

ඊයේ (7) නිවේදනක් නිකුත් කරමින් දෙමළ ජාතික සන්ධානය මේ බව සඳහන් කළේය. ඒ අනුව, ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK), ටෙලෝ සංවිධානය (TELO) සහ ප්ලොට් (PLOTE) සංවිධානය යන දෙමළ ජාතික සන්ධානයට අනුබද්ධ පක්ෂවල පූර්ණ සහයෝගය සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙනු ඇත.

මෙම සහාය ලබාදීමේදී දෙමළ ජාතික සන්ධානය විසින් ප්‍රධන කරුණු 4ක් පිළිබඳ සලකා බැලූ බව එම නිවේදනයේ සඳහන් වේ. මෙහි පළමු කරුණ ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට සත්‍යවාදී ලෙස කැපවීමක් ඇති, විරුද්ධවාදීන් ඉවසන, අධිකාරිවාදයට හා ඒකාධිපතිවාදයට විරුද්ධ වන අයෙකු විය යුතුය. දෙවැනි කරුණ වන්නේ රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාදායක, විධායකයේ සහ අධිකරණයේ සේවාවන්වල, විශේෂයෙන්ම රාජ්‍ය සේවය, පොලිස් හා ත්‍රිවිද හමුදා සේවය හා ඉහත සේවාවන් හි පාලන බලය ඇති අනෙකුත් ආයතනවල නිදහස ආරක්ෂා කිරීම හා රැක ගැනීමට හැකි අයෙකු වීමයි. තුන්වැනි කරුණ වන්නේ මුලික අයිතිවාසිකම් හා මානව අයිතීන් උදෙසා කැප වූ අයෙකු වීමයි. මෙහි සිව්වැනි කරුණ සාධාරණත්වය, සාමානාත්මතාවය සහ සියලු ආගම් හා ජාති භේද පසෙකලා ජාතික සහ ප්‍රාදේශීය ලෙස, රාජ්‍ය පාලනයට සත්‍ය ලෙස කැප වීමයි. ඒ තුළින් නිර්මාණය වන එක්සත්, නොබෙදුණු, බෙදිය නොහැකි රටක් තුළ සියලුම පුරවැසියන්ගේ අනන්‍යතාව පවත්වා ගැනීම සහ රැකගැනීම මඟින් ඔවුන්ට සමාන බව දැනෙන අතර එකම රටක් ඔවුන් සියලු දෙනාට අයිති වෙන බව හැඟීමයි.

ඉහත කරුණු මත පදනම්ව කුමන අපේක්ෂකයාට ඡන්දය ලබා දෙනවාද යන තීන්දු ගැනීමේදී ඡන්දදායකයා ඉතා සුපරික්ෂාකාරී විය යුතු බවද ඔවුන් එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දී තිබේ. මෙම නිවේදනය මඟින් දෙමළ ජාතික සන්ධානය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලය පිළිබඳව ඇත්තේ සෘණාත්මක අදහසක් බවයි. ඒකාධිපතීත්වය, අගවිනිසුරු ඉවත් කිරීම, හිටපු හමුදාපතිට අභූත චෝදනා එල්ල කිරීම, ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, පසුගිය ඔක්තෝබර් මස 26 වැනිදා අත්තනෝමතික ලෙස රාජ්‍ය බලය පැහැර ගැනීම යනාදී හේතු ඒ සඳහා බලපා ඇති බව එම නිවේදනයේ සඳහන් වේ. ඊට අමතරව පහරදීම්, මාධ්‍යවේදීන්, සාමාන්‍ය වැසියන් සහ මානව අයිතීන් පිළිබඳව පෙනී සිටින ක්‍රියාකාරීන් අතුරුදන් කිරීම්, සුදුවෑන් සම්ප්‍රදාය ගෙන ඒම යන චෝදනාද ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එල්ල වී ඇති බව දෙමළ ජාතික සන්ධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එහෙත් සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන හැඩගැස්ම තුළ එවැනි චෝදනා දක්නට නොලැබෙන බවත් ඔහු පිරිසුදු චරිතයක් හිමි නායකයෙකු බවත් එහි සඳහන් වේ. ඔහු විසින් සිදු කර ඇති කුමන කාර්යක් වුවද විශිෂ්ට ලෙස කර ඇති බවත් රට ගොඩනැගීමට පැහැදිලි දර්ශනයක් සජිත් ප්‍රේමදාස මහතා සතු වීමත් ජාතික ප්‍රශ්නය සඳහා පිළිගත හැකි දේශපාලන විසඳුමක් ලබාදීමට හැකි වීමත් යන කරුණු කෙරෙහි වඩාත් සැලකිලිමත් වූ බව දෙමළ ජාතික සන්ධානය කියා සිටියේය. එසේම අතුරුදන්වූවන්ගේ ගැටලු, ඉඩම් නිදහස් කිරීම, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපනය යන කරුණු කෙරෙහිද සජිත් ප්‍රේමදාස මහතා සැලකිල්ලක් දක්වා ඇති බව දෙමළ ජාතික සන්ධානය කියා සිටියේය.

මෙම කරුණු පිළිබඳ සලකා බැලීමේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. එනිසා සියලු කරුණු සලකා බලා විශේෂයෙන්ම පසුගිය කාලයේ සහ අනාගතයේ ඔවුන්ගේ ක්‍රියාවන්ද ප්‍රතිපත්ති ප්‍රකාශනද සලකා බලා නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ අපේක්ෂක හංසයා ලකුණෙන් ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබා ලෙස දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

[දිනුක මලින්ද හේරත්] [ ශේෂලා කන්කානම්ගේ]

News Order: 
4
මාතෘකා