අලුත් ආණ්ඩුව හදන හැටි සජිත් රටට කියයි

 ඡායාරූපය:

අලුත් ආණ්ඩුව හදන හැටි සජිත් රටට කියයි

තමා ජනාධිපති වූ පසු පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි පුද්ගලයා අග්‍රාමාත්‍ය ධුරයට පත්කරන බව ඊයේ (7) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනතා සම්මුතියකින් තොරව නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක නොකරන බවත් දූෂිතයන්ට, හිංසකයන්ට, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ උමතු ආගමික අන්තවාදීන්ට කිසිදු සමාවකින් හෝ අනුකම්පාවකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පැවසීය. එ‍සේම නව ඇමති මණ්ඩලය පත් කිරීමේදී දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව චෝදනා ලත් කිසිවෙකු ඇතුළත් කර නොගන්නා බවත් හැකිතාක් කඩිනමින් සාධරණ මැතිවරණයක් පවත්වා ස්ථාවර නව ආණඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.

ඊට අමතරව ජාතික ලැයිස්තුව තුළ වෘත්තීයවේදීන්ට, කාන්තාවන්ට නිසි තැන දෙමින් අලුත් ආදර්ශයක් ලබා දෙන බවත් පැරණි පවුල්වාදී, ගජමිතුරුවාදී දේශපාලනය අවසන් කරමින් පැරණි දූෂිත දේශපාලනයට තිත තබන බවත් පැවසූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ බියකරු හා ප්‍රචණ්ඩ ලෙස බලයේ එල්ලී සිටීමේ ඒකාධිපති දේශපාලනයද අවසන් කළ යුතු බවයි.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහන බලපත්‍ර අහෝසි කර දූෂණය පිටුදැකීමට කටයුතු කරන අතර දේශපාලන බලයෙන් මැතිඇමතිවරු කරන ව්‍යාපාරවලට තිත තබන බවයි.

[දිනුක මලින්ද හේරත්]

News Order: 
2