ඝාතන දෙකකට වරදකරු වූ ජූලම්පිටියේ අමරේ පෝරකයට

 ඡායාරූපය:

ඝාතන දෙකකට වරදකරු වූ ජූලම්පිටියේ අමරේ පෝරකයට

වසර හතකට පෙර කටුවන හැඩිවත්ත පින්නමණ්ඩියේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම හා තවත් අයෙකුට මරණීය තුවාල සිදුකිරීමේ චෝදනාවට වැරදිකරු වූ මිද්දෙණිය ජුලම්පිටියේ පදිංචි ජී. ජී. අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා ඊයේ (07) මරණීය දණ්ඩනය නියම කළේය.

2012 ජුනි මස 15 වැනි දින කටුවන, හැඩිවත්ත, පින්නමණ්ඩියේ අංක 26/ඒ ලිපිනයේ පදිංචි ලියනගේ රංජිත් නැමැත්තාගේ නිවසේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට රාත්‍රී 7.00ට පමණ කඩා වැදී ජුලම්පිටිය අමරේ නැමැත්තා විසින් සිදු කළ වෙඩි තැබීමකින් කාන්තාවක හා තරුණයෙකු මිය ගිය අතර තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලැබීය. වෙඩි වැදීමෙන් මිය ගියේ කටුවන තල්වත්තේ ගම්බාරේ ගෙදර පදිංචිව සිටි පනස් හැවිරිදි එදිරිමාන්නගේ මාලනී නමැත්තිය හා කටුවන, හැඩිවත්ත, කීරපිටිය ගෙදර පදිංචිව සිටි 18 හැවිරිදි ජයසේකර පටබැඳිගේ නිමන්ත ග්‍රේෂන් නැමති අයයි. එසේම කටුවන, හැඩිවත්ත පදිංචි 26 හැවිරිදි පලිහක්කාර නෙත්තසිංහ ලියනගේ ප්‍රදීප් සාරංග නමැති අය වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබීය.

ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ අදාළ සිදුවීමෙන් පසුව පොලිසිය මඟහැර සිටි අතර පසුව සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර විය. අනතුරුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් 2012 වසරේ ජුනි මස 22 වැනි දින වලස්මුල්ල අධිකරණයේදී හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්විණි. එහිදී සාක්ෂිකරුවෝ තිදෙනෙකු විසින් ජූලම්පිටිය අමරේ හඳුනා ගැනීමට සමත් වූහ. ඒ අනුව සැකකාර ජුලම්පිටිය අමරේට එරෙහිව වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මූලික නඩු විභාගයෙන් පසු නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පැවරුණි. ඒ අනුව පැවති නඩු විභාගයේදී සැකකාර ජුලම්පිටිය අමරේට එරෙහිව නඟා තිබු චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන් තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා සැකකරුට මරණීය දණ්ඩනය නියම කළේය.

ජූලම්පිටිය අමරේ නැමැත්තා මනුෂ්‍ය ඝාතන කිහිපයකට හා තංගල්ල බන්ධනාගාර කැරැල්ලටද චෝදනා ලැබ සිටි අයෙකි. වෙනත් සිදුවීමකට අදාළව ජුලම්පිටිය අමරේ 40 වසරක සිර දඬුවමක් විඳිනු ලබයි. සැකකාර ජුලම්පිටිය අමරේ ඊයේ (07) දිනයේද අධිකරණයට රැගෙන ආවේ බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේය. ඊයේ පැවති නඩු විභාගය දැක බලාගැනීම සඳහා ජනතා විමුත්කි පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගප්පත්ති, කලුතර දිස්තික්ප මන්ත්‍රී නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසක්ද අධිකරණයට පැමිණ සිටියහ. සැකකාර ජුලම්පිටිය අමරේ නැමැත්තා විසින් වෙඩි තැබිම සිදුකර තිබුණේද ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක් සහභාගීවූ රැස්වීමකටය.

සැකකරුට මරණීය දණ්ඩනය නියම කළ මහාධිකරණ විනිසුරුවරයා බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර සිටියේ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා විසින් නියම කරන ස්ථානයකදී හා වේලාවකදී සැකකරු බෙල්ලෙන් එල්ලා මරණයට පත් කරන තෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙසය. මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධි නීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා සමඟ කටුවන පොලීසියේ කොස්තාපල් (50,705) ලලිත් ප්‍රේමකුමාර මහතා පෙනී සිටියේය.

[නුවන් ජයසේකර]

News Order: 
1
මාතෘකා