නාමල් කුමාරගේ කටහඬ රස පරීක්ෂක හමුවට

 ඡායාරූපය:

නාමල් කුමාරගේ කටහඬ රස පරීක්ෂක හමුවට

රටේ ප්‍රථම පුරවැසි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි කියන දුරකථන සංවාදය අලළා කටහඬ පරීක්ෂාව සඳහා දූෂණ විරෝධී බලකායේ විධායක අධ්‍යක්ෂ නාමල් කුමාර අද (26) පෙරවරු 10ට රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයේ ඔහු රජයේ ප්‍රධාන රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියෝග කළාය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සැලසුම් කළ බවට දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර විසින් සැප්තැම්බර් 12 වැනිදා මහනුවරදී මාධ්‍ය හමුවක් අමතමින් හඬපට සහිතව හෙළිදරව් කෙරිණි.

මහනුවර දිගන ප්‍රදේශයේ ජාතිවාදී ගැටුම්වලට සම්බන්ධ බවට සැක කෙරෙන මහසෝන් බලකායේ අමිත් වීරසිංහ අත්අඩංගුවට ගැනීම හා බැඳුණු කරුණු කිහිපයක් ගැන අදහස් දැක්වීම සඳහා නාමල් කුමාර විසින් එම මාධ්‍ය සාකච්ඡාව කැඳවනු ලැබ තිබිණි.

අමිත් වීරසිංහ ඇතුළු පිරිස මහනුවරදී අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ගැන විශේෂ හෙළිදරව්වක් එහිදී සිදු වූ අතර නාලක සිල්වා පොලිසියේ සෙසු නිලධාරීන්ට එරෙහිව කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක නිරත කරන බවටද නාමල් කුමාර එහිදී චෝදනා කළේය. අනතුරුව ඔහු පාතාල නායකයෙකු ලෙස හැඳින්වෙන මාකඳුරේ මදුෂ් මාර්ගයෙන් ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළ බවද සඳහන් කරමින් නාමල් කුමාර හඬපට ඉදිරිපත් කළේය. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ඇරඹූ අතර අවස්ථා දෙකකදී ඔහුගෙන් එම දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීම් කරන ලදී.

මාතෘකා