ඇමති නියෝගයට පිටින් ගිය නිලධාරීන් ගැන පරීක්ෂණ | ඇස පාදන රැස


ඇමති නියෝගයට පිටින් ගිය නිලධාරීන් ගැන පරීක්ෂණ

 ඡායාරූපය:

ඇමති නියෝගයට පිටින් ගිය නිලධාරීන් ගැන පරීක්ෂණ

කොළොන්නාව සහ මුතුරාජවෙල තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ ඉහළ නිලධාරීන් පිරිසක් අයුතු ලෙස ඉන්ධන බවුසර් 180ක් පිට කිරීම හේතුවෙන් සිදු වූ කෝටි ගණනක මුදල් වංචාව සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංගගේ සෘජු මැදිහත්වීමෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඊයේ (15) මේ පිළිබඳව 'රැස' කළ විමසීමකදී ඛනිජ තෙල් හා පෙට්ට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මේ අනාවරණ කළේය.

පසුගිය මැයි 10වෙනිදා දහවල් 11ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉන්ධන මිල වැඩි වන අන්දම පැවසීමත් සමග එම ප්‍රවෘත්තිය මාධ්‍ය හරහා පළ කෙරිණි.

ඒ සැණින් ඛනිජ තෙල් හා පෙට්ට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් එදින තෙල් බවුසර් පිට වීම තාවකාලිකව නතර කළද එදින තෙල් බවුසර් 180ක් කොළොන්නාව තෙල් නිමාවෙන් පිටව ගොස් ඇත.

එම එක් බවුසරයකින් රුපියල් ලක්ෂ තුනක් පමණ තෙල් සංස්ථාවට පාඩු වී ඇති අතර එම පාඩුව සම්බන්ධයෙන් ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉහළ නිලධාරීන් සහ ප්‍රාදේශීය පිරවුම්හල්වල කළමනාකරුවන් ගෙන්වා සාක්ෂි විමසීමටත් ඒ අනුව විධිමත් පරීක්ෂණයක් කිරීමටත් නියමිතය.

[දිනුක මලින්ද ]

මාතෘකා