මරණයට හේතුව මත්ද්‍රව්‍යයක්ද? | ඇස පාදන රැස


මරණයට හේතුව මත්ද්‍රව්‍යයක්ද?

 ඡායාරූපය:

මරණයට හේතුව මත්ද්‍රව්‍යයක්ද?

කොල්ලුපිටි‍ෙය් සමාජශාලාවට ගිය දෙවැනි රග්බි ක්‍රීඩකයාත් මියයයි

සුහද පුහුණු රග්බි තරඟ කිහිපයකට සහභාගී වීම සඳහා පසුගිය මැයි මස 10 වැනිදා මහා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණ සිටියදී හදිසියේ රෝගාතුරව රෝහල්ගත කර සිටි ‘ඩර්හැම් සිටි’ රග්බි පාපන්දු සමාජයේ අනෙක් ක්‍රීඩකයාද ඊයේ (15) මියගියේය.

එම ක්‍රීඩකයා කොළඹ පෞද්ගලික රෝහලකදී මිය ගිය බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී, නීතිඥ රුවන් ගුණසේකර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබුණි.

පසුගිය මැයි 12 වෙනිදා කොළඹ සී.ආර් ඇන්ඩ් එෆ්.සී ක්‍රීඩාංගනයේ පැවති සුහද රග්බි තරගයකින් අනතුරුව පැවති රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසු ඩර්හැම් ක්‍රීඩකයන් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සමාජ ශාලාවකට ගොස් විනෝද වී පැමිණ ඇත්තේ ඊට පසුදින (13) අලුයම 4.00ට පමණ බව කියැවේ. කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමේ සුප්‍රකට සාප්පු සංකීර්ණයක බිම් මහලේ පිහිටි එම රාත්‍රී සමාජ ශාලාව ජිනා මැඩම් නම් තැනැත්තියගේ පුත්‍රයාට අයත් බව පැවසෙන අතර ලෝක ප්‍රසිද්ධ ඊජිප්තු රැජිනකගේ නාමයෙන් එය නම් කර ඇත. මත්ද්‍රව්‍ය හා මත්පැන් ආශ්‍රිත නිරන්තර ගැටුම් සම්බන්ධයෙන් අපකීර්තිමත් වාර්තාවක් සහිත මෙම රාත්‍රී සමාජ ශාලාව හා සම්බන්ධ සිදුවීම් කිහිපයක් පිළිබඳව පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙම සමාජ ශාලාවට ගිය ඩර්හැම් ක්‍රීඩකයන් ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයට පැමිණීමේන් අනතුරුව ඉන් දෙදෙනෙකුට උදෑසන 10.00ට පමණ ශ්වසන ආබාධයක් ඇති වී රෝහල් ගත කර තිබේ. ඒ පසුගිය මැයි 13 වෙනිදාය. රෝහල් ගත කළ එම ක්‍රීඩකයින් අතුරින් හාවඩ් තෝමස් නම් රගර් ක්‍රීඩකයා එදින මධ්‍යාහ්නයේ මියගොස් ඇති අතර අසාධ්‍යව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි 27 හැවිරිදි බැටී තෝමස් රීඩ් නම් අනෙක් රග්බි ක්‍රීඩකයාද මෙසේ ඊයේ (15) මියගියේය.

මෙම සිදුවීම නිසා පළමුවෙන්ම මියගිය 26 හැවිරිදි හාවඩ් තෝමස් නම් ක්‍රීඩකයාගේ මරණ පරීක්ෂණය ඊයේ කොළඹ දිසා අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. එන්. රූහුල් හක් මහතා විසින් පවත්වා ඇති අතර එහිදී, මරණය සිදුවී ඇත්තේ තුවාල සිදුවීමකින් හෝ රෝගයකින් හෝ නොවන බවට තීන්දු කර විවෘත තීන්දුවක් ලබා දී තිබේ. මේ අතර සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුව වෙත යවා තිබේ. මේ සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[දිනුක මලින්ද ]

 

මාතෘකා