පිළිසරණක් බලාපොරොත්තුවෙන් සිටියදී විනාශ මුඛයට යන ‘පතිරාජගම’

 ඡායාරූපය:

පිළිසරණක් බලාපොරොත්තුවෙන් සිටියදී විනාශ මුඛයට යන ‘පතිරාජගම’

බළපිටිය මැතිවරණ කොට්ඨාසයට අයත් අහුංගල්ල පතිරාජගම ආදර්ශ ගම්මානයේ කාලයක් තිස්සේ පවතින අඩුපාඩු හේතුවෙන් එහි තිබෙන පොදු ගොඩනැඟිලි සියල්ලම කැලෑවට යට වී විනාශයට පත් වෙමින් තිබේ.

බළපිටිය හිටපු මන්ත්‍රී හා නියෝජ්‍ය කථානායක, අධිනීතිඥ නෝමන් වෛද්‍යරත්න මහතාගේ ඉල්ලීම පරිදි එවකට අග්‍රාමාත්‍යව සිටි

ආර්. ප්‍රේමදාස මහතා විසින් 1986 දෙසැම්බර් මස දාහතර වැනි දින පතිරාජගම ආදර්ශ ගම්මානය විවෘත කරනු ලැබ තිබේ. මෙම ගම්මානයේ ඉදිකළ ප්‍රජා ශාලාව, ජල ටැංකිය, සායන මධ්‍යස්ථානය යන පොදු ගොඩනැඟිලි සියල්ලම පාහේ මේ වන විට විනාශ වෙමින් පවතී.

බටහිර කොළඹ ඉනර්වීල් සමාජය මඟින් ඉදිකරන ලද ප්‍රජා ශාලාව කැලයට යටවෙමින් පවතී. එහි සවිකළ යකඩ දැල් ආදිය හා දොර ජනෙල් දිරාපත් වෙමින් පවතී. කලක් ග්‍රාම නිලධාරී කාර්යාලය මෙහි පවත්වාගෙන ගොස් තිබේ. එහි වහල දිරාපත් වී තිබෙන අතර විදුලි උපාංගද විනාශ වී තිබේ. ඇතැම් විදුලි උපාංග පතිරාජගම මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ගලවාගෙන ගොස් තිබෙන බව ගම්වාසීන් ප්‍රකාශ කරයි.

ගම්මානයට පානීය ජල පහසුකම් ලබා දීම සඳහා ඉදිකළ විශාල ප්‍රමාණයේ ළිඳ සහ ජල ටැංකිය වසර විස්සක පමණ කාලයක සිට ප්‍රයෝජනයක් නොගැනීමෙන් විනාශයට පත් වෙමින් තිබේ. එය ප්‍රයෝජනයට නොගැනීම හේතුවෙන් මදුරු රජ දහන් බවට පත්ව ඇත. සෞඛ්‍ය සායන ගොඩනැඟිල්ල අංගසම්පූර්ණ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ලෙස තිබුණත් ඇතැම් වෛද්‍යවරුන්ගේ ක්‍රියා කලාපයන් නිසා වසරකට වැඩි කාලයක එය වසා දමා තිබේ. මේ වන විට එම සෞඛ්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ගන්නා මවුවරුන්ට කිලෝමීටර් 04කට ආසන්න දුරක් ප්‍රතිකාර කටයුතු සඳහා පයින් යෑමට සිදු වී තිබේ. මෙම ගම්මානය ආරම්භයේදීම සති පොළක් ආරම්භ කළද එය සාර්ථක නොවීය. ඒ සඳහා ඉදිකළ වෙළෙඳ කුටිද කැලෑවට යට වෙමින් පවතී. පොදු වෙළෙඳපොළක අවශ්‍යතාවය සොයා නොබලා එය ගොඩනැඟීම හේතුවෙන් මහජන මුදල් විශාල වශයෙන් අපතේ ගොස් තිබෙන බවද ප්‍රදේශවාසීහු පවසති.

වර්තමාන නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මහතා නව ගම්මාන විවෘත කිරීම අගය කරන බවත් ඔහුගේ පියා විසින් ආරම්භ කරන ලද මෙම ගම්මානයේ අද පවතින තත්ත්වයන් ගැන සොයා බලා අඩුපාඩු සකස් කර දෙන ලෙසත් ගම්වාසීහු ඉල්ලා සිටිති. සජිත් ප්‍රේමදාස මහතා දැනුවත්කර ගම්මානයේ අඩුපාඩු සකස් කර දෙන ලෙස පතිරාජගම එජාප මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටින බවද එම ගම්වාසීන් ප්‍රකාශ කරයි.

මෙම ගම්මානයේම පදිංචි බළපිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කරන එකම එජාප මන්ත්‍රීවරයා වන ඇම්. ඩබ්ලිව්. සෙනරත් (55) මහතාගෙන් විමසූ විට හෙතෙම මෙසේ පැවසීය.

“මෙහි තිබෙන සායන ගොඩනැඟිල්ල දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයිති එකක්. එහි අඩුපාඩු තිබෙන බව කිව්වම වැසිකිළි, ජල පහසුකම් ආදිය සකස් කර දුන්නා. මගේ පෞද්ගලික වියදමින් පවිත්‍ර කර දුන්නා. ආර්ථික අමාත්‍යාංශයෙන් ලැබුණු රුපියල් ලක්ෂ පහක වියදමින් ගැබිනි මවුවරුන්ට ඉන්න ශාලාවක් හදා දෙන්න කටයුතු කරමින් සිටිනවා. අපි ඉල්ලන්නෙත් ඉක්මනින් සායන කටයුතු ආරම්භ කරන ලෙසයි. ප්‍රජා ශාලාව ඉදිරියේදී අලුත්වැඩියා කර පන්සලට පූජා කරන්නයි බලාපොරොත්තුව.

“ජල ටැංකියට යෙදූ මෝටරය මන්ත්‍රීවරයකුගේ උපදෙස් පරිදි අලුත්වැඩියාවට මාතර අරගෙන ගියත් අද වෙනතුරු වෙච්ච දෙයක් දන්නේ නැහැ. ඒ නිසා ටැංකියයි ගොඩනැඟිල්ලයි දිරාපත් වෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයට කියන්න කියලා මටත් ප්‍රදේශවාසීන් බලපෑම් කරනවා. ප්‍රජා ජල ව්‍යාපෘතියක් සකස් කර දෙන ලෙස ඉල්ලා තිබෙනවා. සති පොළ භූමියේ ළමා උද්‍යානයක් ආරම්භ කරන ලෙසත් ඉල්ලා තිබෙනවා. අපේ ආණ්ඩුවට වසර 05ක් පිරෙන්නත් ළඟයි. කරපු ඉල්ලීම්වලින් එකක දෙකකවත් ඉදිකිරීම් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.”

බළපිටිය ප්‍රාදේශීය සභාවට පොදුජන පෙරමුණෙන් තරග කළ ගීමුණි උපාලි ද සිල්වා මහතා මෙසේ පැවසීය.

“බළපිටිය ප්‍රාදේශීය සභාවට පොදුජන පෙරමුණෙන් තරග කළේ පතිරාජගමත් අයත්වන බෝගහපිටිය කොට්ඨාසයෙන්. බළපිටියේ මම විතරයි පැරදුණේ. පතිරාජගම, බෝගහපිටිය කොට්ඨාසයෙන් ජය ගත්තේ එජාප අපේක්ෂකයා. රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ ඥාතීන් විශාල වශයෙන් පතිරාජගම ජීවත් වෙනවා. ඒ නිසයි පතිරාජගම උදා ගම්මානයක් වුණේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තිබෙද්දීම පතිරාජගම විනාශ වෙලා යන එක දෛවයේ සරදමක් වගෙයි. පියගම ප්‍රදේශයේත් පොදු දේපළ විනාශ වෙලා යනවා.”

ඔවුන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් බලධාරීන්ගේ අවධානය යොමු වී මෙම ගම්මානය යළි පෙර තිබූ තත්ත්වයෙන් ගම්වාසීන්ට ලබා දීමට කටයුතු කරන ලෙසයි.

[ජයකාන්ත ලියනගේ] අහුන්ගල්ල

මාතෘකා