ජනතාව පීඩාවට පත් කරන වර්ජන රැල්ලක්

ජනතාව පීඩාවට පත් කරන වර්ජන රැල්ලක්

දිවයින පුරා රාජ්‍ය සේවයට අයත් ක්ෂේත්‍ර කිහිපයක සේවකයන් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජන හේතුවෙන් ක්ෂේත්‍ර රැසක කටයුතු අඩාළ වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ වැඩවර්ජනය ඊයේ (25) දිනත් ක්‍රියාත්මක වූ බැවින් රාජ්‍ය ආයතනවල කිසිදු සේවාවක් සිදු නොවන බව එම සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා මහතා සඳහන් කළේය. ඒ හේතුවෙන් රාජ්‍ය ආයතනවලින් සේවා ලබාගැනීම සඳහා පැමිණීමෙන් වළකින්නැයි ජනතාවට දන්වා සිටින බව ඔහු වැඩිදුරටත් පැවසුවේය. මෙම වර්ජනයට ආපදාවට ලක්ව ඇති ප්‍රදේශවල සේවය කරන දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු අදාළ නිලධාරීන් සම්බන්ධ නොවන බවද රෝහණ ද සිල්වා මහතා සඳහන් කළේය.

එසේම තාක්ෂණික වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණද ඊයේ සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළ අතර ඒ හේතුවෙන් රාජ්‍ය ආයතනවල තාක්ෂණික කටයුතු කිසිවක් සිදු නොවීය. වැටුප්, උසස්වීම් සහ බඳවා ගැනීම් ඇතුළු කරුණු 12ක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවද ඊයේ පෙරවරු 8.00 සිට පැය 4ක සංකේත වැඩවර්ජනයක නිරත විය. මෙම වර්ජනයට නිසා රෝහල්වල සායනික සහ වාට්ටුවල කටයුතුවලට බාධා එල්ල විය. මේ සඳහා රජයේ ගිලන්රථ රියදුරෝද එක් වී සිටියහ.

මේ අතර රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ වැඩවර්ජනයද ඊයේ අඛණ්ඩව ක්‍රියාත්මක විය. අද (25) සහ හෙට (26) යන දෙදින තුළ පාසල් අධ්‍යනය කාර්ය මණ්ඩල සේවකයන්ද අසනීප නිවාඩු වාර්තා කර වැඩවර්ජනය නිරත වන බව නිවේදනය කර ඇත. මේ අතර ගුරුවරුන්ද වැටුප් ගැටලු සහ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමන් අද සහ හෙට යන දෙදින තුළ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. එසේම මේ වන විට විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයෝද ඉල්ලීම් රැසක් මුල් කර ගනිමින් දින 17ක් පුරා අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වෙති. එහි මාධ්‍ය ප්‍රකාශක සමන් කාරියවසම් මහතා ‘රැස’ට ප්‍රකාශ කර සිටියේ ඉල්ලීම් සඳහා විසඳුම් ලැබෙන තුරු වැඩවර්ජනය නතර නොකරන බවයි. මීට අමතරව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වෘත්තීය සමිති එකමුතුවද වැඩවර්ජනයක නිරත වන බව නිවේදනය කර ඇත.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා