ශ්‍රී ලංකාවේ ආයු අපේක්ෂාව වසර 04කින් ඉහළට

 ඡායාරූපය:

ශ්‍රී ලංකාවේ ආයු අපේක්ෂාව වසර 04කින් ඉහළට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දර්ශකයන්ට අනුව ඉදිරි වසර 02 තුළදී ශ්‍රී ලංකාවේ අපේක්ෂිත ආයු කාලය වසර 04කින් ඉහළ යාමට නියමිත බව පරිපූරක අතුරු වෛද්‍ය සේවාවේ පුහුණු පත්වීම් ප්‍රතිපාදන ප්‍රදානය කෙරෙන උත්සවයකට සහභාගි වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව 2016 වසරේදී ශ්‍රී ලංකාවේ පිරිමි පුද්ගලයෙකුගේ අපේක්ෂිත ආයු කාලය අවුරුදු 72ක් වන අතර කාන්තාවකගේ අපේක්ෂිත ආයු කාලය අවුරුදු 78ක් වන බවත් එම අපේක්ෂිත ආයු කාලය ඉහළ යාමට නියමිත බවත් ඇමතිවරයා පැවසීය.

මේ මස අවසන් වීමට පෙර පෙණහලු බද්ධ කිරීමේ ශල්‍යකර්ම ආරම්භ කිරීමත් සමඟ මිනිස් සිරුරේ සියලු අවයව බද්ධ කිරීමේ ශල්‍යකර්ම කරන රටවල් අතරට ශ්‍රී ලංකාවද එක්වනු ඇති බවත් කී ඇමතිවරයා මෙසේද පැවසීය.

"පෙණහලු සැත්කම් නිසා තව අවුරුදු 02කින් මියයන්න ඉන්න පිරිසේ ජීවිත ආරක්ෂා වෙනවා. ඒ නිසා ආයු කාලය අද තියෙනවාට වඩා වැඩි වෙනවා. ඒ කියන්නෙ අවුරුදු 04කින් විතර සාමාන්‍ය ආයු කාලය වැඩි වෙයි. අද තියෙන ප්‍රශස්ථ සෞඛ්‍ය සේවය මේකයි."

[ශිවන්ති ප්‍රනාන්දු]

මාතෘකා