ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන්න

 ඡායාරූපය:

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන්න

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට පුළුල් බලවේග එකතු කර ගත හැකි වැඩපිළිවෙළක් සහ ඒ සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය බලාපොරොත්තු වන සෑම අ‍පේක්ෂකයකුටම තමා දැනුම් දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) අරලියගහ මන්දිරයේදී සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හමු වූ අවස්ථාවේදීය.

ඉදිරිපත් වන සියලු කාරණා සලකා බලා අපේක්ෂකයා නම් කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සිදු කරන බවත් එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයා කවුරුන් විය යුතුද යන්න මෙහිදී නියෝජිතයන්ගේ අවධානයට ලක්වූ බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම 2015 ජනාධිපතිවරණයේදී එකඟ වූ පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහ ජනවර්ග ප්‍රශ්නයට සාකච්ඡාමය දේශපාලන විසඳුමක් ලබාදීම යන ප්‍රධාන ඉල්ලීම් ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න ගැන එහිදී සාකච්ඡාවට ලක්විය.

මේ ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු අතර කවර අපේක්ෂකයකු ඉදිරිපත් කළද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ සන්ධානය සහ වැඩපිළිවෙළ මෙහෙයවිය යුතු බවත් එමෙන්ම ඉදිරියේදී ගොඩනගන ආණ්ඩුවකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය අත්‍යවශ්‍ය බවත් එහිදී දඹර අමිල නාහිමියන් ප්‍රකාශ කළේය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යන සටන් පාඨය මත පුළුල්ම එකතුව ගොඩ නැඟිය යුතු බවත් ඒ සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කොට කෙටි කලක් තුළ එම කටයුත්ත සම්පූර්ණ කිරීමට වැඩපිළිවෙළක් සැකසිය යුතු බවත් මෙහිදී සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කර ඇත.