මැතිසබේ 225ම වත්කම් බැරකම් දිය යුතුයි

 ඡායාරූපය:

මැතිසබේ 225ම වත්කම් බැරකම් දිය යුතුයි

වත්කම් බැරකම් ප්‍රසිද්ධියට පත් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අනිවාර්ය කළ යුතු බව ඊයේ (11) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පැවසීය.

ජනතාවට වගකියන මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ නිර්මාණය කිරීමේ හැකියාවක් මෙමඟින් ලැබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ම ජූනි 30 වන විට පාර්ලිමේන්තු මහලේකම්වරයාට වත්කම් බැරකම් ප්‍රකාශ භාරදිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මාර්තු 12 ව්‍යාපාරය හැටියටත් ස්වාධීන මන්ත්‍රීවරුන් හැටියටත් වත්කම් බැරකම් ප්‍රකාශ මහජනතාවට ලබාදීමට තමන් තීරණය කළ බවත් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10ක් වත්කම් බැරකම් ප්‍රසිද්ධියට පත්කර තිබෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍ය එක් පියවරක් ලෙස එය ප්‍රසිද්ධ කළ යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වත්කම් බැරකම් ප්‍රකාශයට පත් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අනිවාර්ය කළ යුතු බවත් එසේ වූ විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනිවිදභාවය තව තවත් වැඩි වන බවත් සඳහන් කළ මන්ත්‍රී ආශු මාරසිංහ මහතා තවදුරටත් කියා සිටියේ ජනතාවට වගකියන මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ නිර්මාණය කිරීමේ හැකියාවක් මේ හරහා ලැබෙන බවයි.

එසේම වත්කම් සහ බැරකම් ප්‍රකාශයට පත් නොකළ කැබිනට් අමාත්‍යවරුන් 8 දෙනෙකුට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් පෙරේදා (10) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ පැමිණිලි කිරීමද සිදු විය. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් වෙබ් අඩවියේ සඳහන් වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය, වාසුදේව නානායක්කාර, එම්.ඒ. සුමන්තිරන්, විදුර වික්‍රමනායක, ඉරාන් වික්‍රමරත්න, රංජන් රාමනායක, සෙයිඩ් අලි සහීර් මවුලානා, ආචාර්ය හර්ෂද සිල්වා, විමලවීර දිසානායක සහ මහාචාර්ය ආශු මාරසිංහ විසින් වත්කම් බැරකම් ප්‍රකාශයට පත් කර ඇත.

[දිනුක මලින්ද හේරත්]

 

මාතෘකා