මැතිවරණ ඉලක්ක කරගෙන මඩ ෆේස්බුක් බරටම වැඩ

 ඡායාරූපය:

මැතිවරණ ඉලක්ක කරගෙන මඩ ෆේස්බුක් බරටම වැඩ

එළැඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් අසත්‍ය සහ ව්‍යාජ ප්‍රචාර ගෙන යෑම සඳහා අලුතින් ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් දහස් ගණනක් නිර්මාණය කර ඇති බව ‘රැස’ට වාර්තා වේ.

පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට සහ අයිතිවාසිකම්වලට බලපාන අයුරින් අපහාස, හිරිහැර, ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශ සහ වෙනත් දෑ ජනාධිපතිවරණය පදනම් කර ගනිමින් සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල හුවමාරු වීමේ නව ප්‍රවණතාවක් දක්නට ලැබේ. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයද පසුගියදා නිවේදනය කර සිටියේ මෙසේ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය, ව්‍යාජ පුවත් පළ කිරීම්, වෛරී ප්‍රකාශ පළ කිරීම් බොහෝ සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල ප්‍රජා මාර්ගෝපදේශවලට පටහැනි බවත් එවැනි ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් එම සමාජ මාධ්‍ය වෙබ් අඩවි වෙත වාර්තා කිරීමෙන් ඉවත් කිරීමට පහසුකම් සමාජ මාධ්‍ය වෙබ් අඩවි විසින් පරිශීලකයන්ට සපයා දෙනු ලැබ ඇති බවත්ය.

බිලියන 2.2ක් වන ෆේස්බුක් පරිශීලකයන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 18 - 30ත් අතර වයස් පසුවන අතර ඔවුන්ගේ ඡන්දය තීරණය වීම කෙරෙහි මෙය දැඩි ලෙස බලපා තිබේ. මේ පිළිබඳව අදහස් දැක්වූ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පැවසුවේ වර්තමානයේදී සමාජ මාධ්‍ය බරපතළ ලෙස බලපෑම් ප්‍රවාහයක් වී ඇති බවය.

මෙම තත්ත්වය වර්ධනය වීමත් සමඟ ඉදිරි ජනාධිපතිවරණයේදී ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි හරහා අපේක්ෂකයන්ට මඩ ගැසීම නතර කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මීට පෙර පැවසීය. ඒ අනුව ෆේස්බුක් හිමිකරුවන්, තොරතුරු තාක්ෂණ විශේෂඥයන්, දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ නීතිඥයන් සමඟ එක්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් පෙරේදා (9) සහ ඊයේ (10) යන දෙදින තුළ පැවැත්විණි.

[නිර්මාණි බණ්ඩාරනායක] 
[දිනුක මලින්ද හේරත්]

 

මාතෘකා