තිලංග සුමතිපාල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දොට්ට

 ඡායාරූපය:

තිලංග සුමතිපාල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දොට්ට

ක්‍රීඩා ඇමැති හරින්ගෙන් ක්‍රිකට් ආයතනයට නියෝගයක්

කිසිදු තනතුරක් දරන්න බෑ 
ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සති දෙකක් තුළ පරීක්ෂණයක් කරනවා 
- ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ආයතනයේ දරණු ලබන සියලු තනතුරුවලින් ඉවත් කරන මෙන් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඊයේ (10) ක්‍රිකට් ආයතනය වෙත ලිඛිතව නියෝග කළේය. ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත්කළ අදාළ ලිපිය ලැබුණේ දැයි අප ක්‍රිකට් ආයතනයෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසූයේ එම ලිපිය තමන් වෙත ලැබී ඇති බවය.

ක්‍රීඩා පනතට එක්කර ඇති නව රෙගුලාසිවලට අනුව 39/3 යටතේ තිලංග සුමතිපාල මහතාට එරෙහිව මෙම තාවකාලික තහනම නිකුත්කරනු ලැබ තිබේ. මෙම ලිපිය සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු අදාළ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමුකර ඇති බව තහවුරු කළේය. ‘අපි ලිපියක් යවලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයකුත් පවත්වනවා. ක්‍රීඩා අමාත්‍යතුමා විසින් මමත්, අමාත්‍යාංශ නීති නිලධාරිනියත්, විශ්‍රාමික පරිපාලන නිලධාරියෙක්වත් අදාළ පරීක්ෂණය පවත්වන්න පත්කරලා තිබෙනවා’ යැයිද පැවසීය.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයට අනුව දැක්වුණේ මාසයක කාලයක් තුළ මෙම පරීක්ෂණය සිදුකරන බවය. අදාළ පරීක්ෂණයේදී තිලංග සුමතිපාල මහතාගෙන් කරුණු විමසීමේදී වාචික පරීක්ෂණයක් නොපත්වන්නටද ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබීම විශේෂත්වයකි. එහි ප්‍රකාශයකු සඳහන් කළේ එසේ කිරීම මගින් පරීක්ෂණය කඩිනම් කිරීම අපේක්ෂා කරන බවයි. එසේ නොවන්නේ නම් තාවකාලික දඬුවම්ලාභී පාර්ශ්වය පරීක්ෂණය කල්දැමීමේ අවදානමක් පවතින බව විශ්වාස කෙරේ. මේ හේතුවෙන් අදාළ පරීක්ෂණය ලිඛිත කරුණු ලබාගැනීමෙන් පසු අවසන් තීන්දුව සති දෙකක් වැනි කාලයක් තුළ ලබාදීමට හැකියාව උදාවනු ඇතැයිද අමාත්‍යාංශ ප්‍රකාශකයා පැවසීය.

මේ වනවිට තිලංග සුමතිපාල මහතාගේ පවුලේ සාමාජිකයන්ට ඔට්ටු ඇල්ලීමේ ක්‍රීඩාවට සෘජු සම්බන්ධයක් පවතින බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වීම මෙම තාවකාලික තහනම පැනවීමට ප්‍රධානතම හේතුවවී තිබේ. එම සාක්ෂියට අමතරව ඒ මහතාගේ මව වන මිලිනා සුමතිපාල මහත්මිය සිය අවසන් කැමැති පත්‍රයේ පිටපතක් සහ තමන් බුකී ව්‍යාපාරයට සම්බන්ධ බව පවසමින් ඔහු පාර්ලිමේන්තුවේ කර ඇති ප්‍රකාශ ඇතුළත් හැන්සාඩ් වාර්තා මෙන්ම එහි වීඩියෝ පිටපත් ද ක්‍රීඩා අමාත්‍යවරයා වෙත මේ වනවිට ඉදිරිපත්ව ඇතැයිද සඳහන්ය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා