යුද්ධ හමුදාව අභිමානවත් 70 වැනි සංවත්සරය සමරයි

 ඡායාරූපය:

යුද්ධ හමුදාව අභිමානවත් 70 වැනි සංවත්සරය සමරයි

නිර්භීතකම, කැපවීම සහ පරාර්ථකාමීත්වයෙන් යුතුව අසමසම වාර්තා රැසක් අත්පත් කරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අද (10) සිය 70 වන යුද්ධ හමුදා දිනය අභිමානවත් අයුරින් සමරනු ලබයි. ඊට සමගාමීව පැවැත්වෙන ප්‍රධාන උත්සවය යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලුමුවදොර පිටියේදීීීී පැවැත්වීමට නියමිතය.

බ්‍රිගේඩියර් ආර්. සින්ක්ලෙයාර්ගේ අණදීම යටතේ පළමු නිත්‍ය බලසේනාව පිහිටුවීමෙන් පසුව 1949 ඔක්තෝබර් 10 වැනිදා  ලංකා හමුදාව ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ආරම්භ කරන ලදී. දියතලාවේදී යුද්ධ හමුදා විද්‍යාපිඨය පිහිටුවීමත් සමඟ බ්‍රිගේඩියර් ඇන්ටන් මුතුකුමරු ලංකා හමුදාවේ ප්‍රථම ශ්‍රී ලාංකික හමුදාධිපති ලෙස පත්විය. පසුගිය අවුරුදු 70ක කාලය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රශංසනීය ස්ථානයකට ගෙන ඒම සඳහා මේ දක්වා යුද්ධ හමුදාධිපතිවරුන් 23 දෙනෙකු වඩා ඵලදායී අයුරින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අණදීම් සිදුකර ඇත. වර්තමානයේදී රෙජිමේන්තු 24කින් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වඩාත්ම කැපීපෙනෙන ආරක්‍ෂක සැපයුම්කරු ලෙස දිවයින පුරා විසිරී සිටින සියලුම ජනවර්ගයන්ගේ ගෞරවනීය ප්‍රසංශාවට ලක්ව ඇත.

ආරක්‍ෂක තර්ජන, ජාතික ව්‍යසනයන්, ආපදා සහ හදිසි අවස්ථාවලදී අසමසම සේවාවන් සිදුකරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සුහදත්වය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කරමින් ජාතික ආරක්‍ෂක අවශ්‍ය‍තා, ජාතිය ගොඩනැගීමේ කාර්යභාර්ය, එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා භටපිරිස් යෙදවීම, මානුෂීය ව්‍යාපෘති සිදුකිරීම, බිම්බෝම්බ ඉවත් කිරීම, නිවාස ඉදිකිරීම්, වන සංරක්‍ෂණය, ගංඟා සහ වැව් පිරිසිදු කිරීම ආදිය අඛණ්ඩව සිදුකරනු ලබයි. යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති වශයෙන් පත් වූ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සියලු ශ්‍රී ලාංකිකයන් අතර ගෞරවාදරයට පාත්‍ර වූ නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නව දැක්මක් කරා යොමු කරවීමට අධිෂ්ඨාන කරගෙන සිටියි.