හිරුඑළියට විවෘත නොවීමෙන් ළමුන්ගෙන් අඩකට විටමින් D ඌනතාව

 ඡායාරූපය:

හිරුඑළියට විවෘත නොවීමෙන් ළමුන්ගෙන් අඩකට විටමින් D ඌනතාව

මෙරට ළමුන්ගෙන් සියයට 50ක් විටමින් D ඌනතාවෙන් පෙළෙන බව සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බවත් මෙය ලෙඩ රෝග රැසකට හේතු වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පැවසුවාය.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටමින් D ඌනතාව සහිත දරුවන් බහුලව දක්නට ලැබෙන අතර එම ප්‍රදේශවල සීතල සහ වැසි කාලගුණය නිතරම පවතින බැවින් නිරන්තරයෙන් ශරීරය ආවරණය කරගෙන සිටීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවත් අඩු තරමින් විටමින් D ලබා ගැනීම සඳහා අත් සහ කකුල් හිරුඑළියට නිරාවරණය වී තිබීම අත්‍යවශ්‍ය බවත් වෛද්‍යවරිය පැවසුවාය.

විටමින් D පෝෂණය ශරීරයට අත්‍යවශ්‍ය විටමිනයක් වන අතර ශරීරයේ අස්ථි පද්ධතිය පවත්වාගෙන යාම සඳහා සහ ශරීරය ලෙඩ රෝගවලින් ආරක්ෂා කර ගැනීම සඳහා එය උපකාරී වන බව මේ පිළිබඳව අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

[සුමන උදයන්ත]

News Order: 
8
මාතෘකා