පත්තිරිප්පුව ඉදිරිපිටදී ජනපති පිළිගැනීමට ජන ගඟක්

 ඡායාරූපය:

පත්තිරිප්පුව ඉදිරිපිටදී ජනපති පිළිගැනීමට ජන ගඟක්

සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) පෙරවරුවේ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගත්තේය.

මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරුප්පුව ඉදිරිපිටදී ජනාධිපතිවරයා සුහදව පිළිගත් අතර අනතුරුව රතු පළස මතින් ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ අභියසට යෑමෙන් අනතුරුව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිවරයාව සම්ප්‍රදානුකූලව පිළිගැනිණි.

ජනපතිවරයාට සුබ පැතීම පිණිස දහස් සංඛ්‍යාත ජනකායක් ශ්‍රී දළදා මාලිගාවට අභියසට පැමිණි සිටි අතර ජනතාවගේ සාධුකාර මධ්‍යයේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී දළදා මාළිගාව තුළට ප්‍රවිෂ්ට විය. එහිදී සතර මහ දේවාල බස්නායක නිලමේවරුන් හා පිටිසර දේවාල බස්නායක නිලමේවරුද ජනාධිපතිවරයා පිළිගත්හ.

දළදා වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව අතරට ගොස් ඔවුන් සමඟ සුහද පිළිසඳරකද නිරත විය.

[අසේල කුරුළුවංශ] [ඉන්දික පොල්කොටුව] [මධ්‍යම පළාත් සමූහ]

News Order: 
3
මාතෘකා