විල්පත්තු නඩුවේ තීන්දුව නවතියි - නැවත විභාගයට නව විනිසුරු මඩුල්ලක්

 ඡායාරූපය:

විල්පත්තු නඩුවේ තීන්දුව නවතියි - නැවත විභාගයට නව විනිසුරු මඩුල්ලක්

විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය තුළ තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක් නැවත විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය දින නියම කර තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ඉදිරියේ විභාග කර අවසන්ව තිබූ අතර එහි තීන්දුව අගෝස්තු මස 6 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

එසේ වුවද මෙම නඩුව නැවත විභාග කිරීමට තීරණය වී ඇති අතර ඊට ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කර ඇත. එම විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගය ජුලි 31 වැනිදා පැවැත්වීමට නියමිතය.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම නඩුව 2015 වසරේ අභියාචනාධිකරණයේ ගොනු කෙරුණු අතර එමගින් විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය එළි කොට ඒ තුළ අනවසර ඉදිකිරීම් සිදුකිරීම හේතුවෙන් දැඩි පාරිසරික හානියක් සිදුව ඇති බව පෙන්වා දෙයි. එම නිසා අදාළ වනාන්තර එළි කිරීම නීති විරෝධී බවට තීන්දු කර දැනට සිදුකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටී. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසක් එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.