දේශපාලන අර්බුදය නිසා ඖෂධ වර්ග 216ක හිඟයක්

 ඡායාරූපය:

දේශපාලන අර්බුදය නිසා ඖෂධ වර්ග 216ක හිඟයක්

2018 වසරේ අවසානයේ දේශපාලන අර්බුදය පැවති කාලය තුළ ඖෂධ වර්ග 216ක හිඟයක් නිර්මාණය වුවද එහි බලපෑම තවමත් පවතින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.  රෝහල්වල ඖෂධ හිගයකින් තොරව පවත්වාගෙන යාම පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පසුගියදා පැවැතිවිණ.

 

හිඟයක්ව පැවැති ඇතැම් ඖෂධ තවමත් රෝහල්වලට සැපයීමට නොහැකි තත්ත්වයක් මතුව ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය එම දේශපාලන අර්බුදය සමයේ ක්‍රියාත්මක නොවීම බව සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේය. දින 52ක් පුරා පැවැති දේශපාලන අර්බුදය සමයේ කිසිදු ටෙන්ඩරයක් ක්‍රියාත්මක නොවූ බවත් ඖෂධ ආනයනය කිරිමක් සිදු නොවූ බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.  දැනට පවතින සුළු ඖෂධ හිඟය කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට එහිදී උපදෙස් ලබාදෙන ලදී. තවද අත්‍යාවශ්‍යව පැවැති ඇතැම් ඖෂධ ගුවන් මඟින් ශ්‍රී ලංකාවට ගෙනඒමටද පියවර ගැනුනි. තවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් ඖෂධ සමාගම්වල වෙළෙඳ නියෝජිතභාවය ලබාගෙන ඖෂධ අලෙවි කිරීම ආරම්භ කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.