අප්‍රේල් 21 සිද්ධිය සොයා බැලීමට තේරීම් කාරක සභාවක්

 ඡායාරූපය:

අප්‍රේල් 21 සිද්ධිය සොයා බැලීමට තේරීම් කාරක සභාවක්

සිදු වූ අවාසනාවන්ත සිද්ධිය සහ ඊට අදාළ සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කිරීමට බලාපොරොත්තු වන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි. කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි සහ රාමඤ්ඤ නිකායේ මහානායක ස්වාමීන් වහන්සේලා බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.

පාස්කු ඉරිදා සිදුවූ සිදුවීමත් සමඟ පැතිර ගිය කටකතාවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව මේ වන විට ඔප්පු වී ඇති බවත් ඒවා රට අකාර්යක්ෂම කිරීම සඳහා ගත් උත්සාහයන් පමණක් බවත් කතානායක කරූ ජයසූරිය මහතා පවසයි. එබැවින් වත්මන් තත්ත්වය පිළිබඳවද ඉදිරියේදී ආරක්ෂක ලේකම්, පොලිස්පති, හමුදාපතිවරු යන අය ඉදිරිපත් කෙරෙන ප්‍රකාශ ගැන පමණක් විශ්වාස කරන ලෙසත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.


එහිදී තවදුරටත් කරුණු දැක්වූ කතානායකවරයා මෙම සිදුවීම් මාලාව පුරා අපගේ ආරක්ෂක සේවා පොලීසිය සහ බුද්ධි අංශ විසින් ඉටු කළ ක්‍රියා කලාපය ප්‍රශංසනීය බවත් දින කිහිපයක් තුළ ආරක්ෂක තත්ත්වය සමනය කළ හැකි වූයේ ඔවුන්ගේ කැපවීම නිසා බවත් පැවසීය. ලෝකයේ බොහෝ රටවල ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන පුද්ගලයන්ද මෙරට ආරක්ෂක අංශ විසින් ඉටු කළ සේවය අගය කොට ඇති බව පෙන්වා දුන් කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවෙන් ඔවුන් වෙනුවෙන් ඉටු විය යුතු සියලු කාර්යයන් ඉදිරියේදී ඉටු කරන බවත් පැවසීය.
 

සිදු වූ අවාසනාවන්ත සිද්ධිය සහ ඊට අදාළ සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කිරීමට බලාපොරොත්තු වන බව සදහන් කළ කතානායකවරයා ඉදිරියේදී ජනවාර්ගික සහයෝගීතාව සහ රටේ ආරක්ෂාව තහවුරු කිරීමටත් පූර්ණ බලැති කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයාට යෝජනා කිරීමට කටයුතු යොදන බවත් පැවසීය. මෙවර වෙසක් උත්සවය සැමරීම කඩාකප්පල් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වන බව පැවසූ කතානායකවරයා කිසිඳු අඩුපාඩුවක් නොමැතිව වෙසක් උත්සවය පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදමින් පවතින බවත් එහිදී පැවසීය.

ආමිස පූජාවලට වඩා ප්‍රතිපත්ති පූජා පවත්වමින් මෙවර වෙසක් උත්සවය පැවැත්වීමට හැකියාව ඇති බව පැවසූ කතානායකවරයා අග්‍රාමාත්‍යවරයා සහ වැඩබලන ආරක්ෂක ලේකම්වරයා ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබා දී ඇති බවද පැවසීය. මහානායක ස්වාමීන් වහන්සේලා මුණගැසුනු අවස්ථාවේ මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවද කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කරන ලදී.