ශ්‍රී ලංකාවේ අනන්‍යතාව සහ සංස්කෘතිය නොපෙනෙන ශිෂ්ටාචාරයකට යටපත් කරන්න බෑ : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 ඡායාරූපය:

ශ්‍රී ලංකාවේ අනන්‍යතාව සහ සංස්කෘතිය නොපෙනෙන ශිෂ්ටාචාරයකට යටපත් කරන්න බෑ : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

ලෝකයේ ජාතීන් අතර සමඟියත් සුහදතාවයත් මිත්‍රශීලීභාවයත් තුළ නැගෙන මනුෂ්‍යත්වයේ හඬට ශක්තිමත් පදනමක් වැටීමට නම් අප සෑම කෙනකුටම වෙන් වූ එක් එක් ජාතීන්ට අනන්‍ය වූ ශිෂ්ටාචාරයන් සහ සංස්කෘතීන් හඳුනා ගැනීම අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) චීනයේ බීජිං නුවර පැවති ආසියානු ශිෂ්ටාචාරයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

“ආසියාවේ ශිෂ්ටාචාරය පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ සමුළුවක් පැවැත්වෙන අවස්ථාවේ ඒ සඳහා අප වෙත ඇරයුම් කිරීම පිළිබඳව චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමාටත් චීන රජයට සහ ජනතාවටත් මගේ ගෞරවණීය ස්තුතිය සහ ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරනවා. ප්‍රධාන වශයෙන්ම ශිෂ්ටාචාරයක් තවත් ශිෂ්ටාචාරයකින් යටපත් කළ නොහැකිය යන න්‍යාය සහ ප්‍රතිපත්තිය අප කවුරුත් පිළිගන්නා වූ දෙයක්. ලෝකයේ ශිෂ්ටාචාර, සංස්කෘතීන්, ජාතින්ගේ අනන්‍යතාවන් පිළිබඳ සාකච්ඡා සහ සංවාද පැවැත්වෙන අද වැනි දවසක ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා විදියට මේ සමුළුවට සහභාගී වන අවස්ථාවේදී මා සිටින්නේ ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය සහ

ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සහ මහා සංස්කෘතිය තවත් නොපෙනෙන ශිෂ්ටාචාරයකට යටපත් කළ හැකිද කියන ප්‍රශ්නය සමඟයි.

“මගේ රට කිසියම් වූ රටකට, කිසියම් වූ ජාතියකට, කිසියම් වූ ශිෂ්ටාචාරයකට, සංස්කෘතියකට තර්ජනයක් නොවන ලෙස ඉතාමත් නිදහසේ සාමකාමීව පවතින රටක් ලෙස දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනවා. එහෙත් අප කිසිසේත්ම අපේක්ෂා නොකළ අන්තවාදී කණ්ඩායමක් විසින් පසුගිය අප්‍රේල් 21 වැනිදා අපේ රටේ ඇති කරන ලද අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය සමඟ නැති වූ ජීවිත විශාල සංඛ්‍යාවක් පිළිබඳව අප සිටින්නේ දැඩි තැතිගැන්මකින් සහ ප්‍රශ්නාර්ථයකින්. අප කුඩා රටක් වුවත් කුඩා ජාතියක් වුවත් අපට තිබෙන අනන්‍යතාව, ප්‍රෞඪත්වය වසර පන්දහසකට වැඩි දිගු ඉතිහාසයකින් උරුම වූවක්. නූතන ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරය ගොඩනැඟී ඇත්තේ වසර 2,600කට වැඩි බෞද්ධ ශිෂ්ටාචාරයේ පදනම මතයි.

“අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ජාතීන් ජීවත් වෙනවා. ඒ වගේම මගේ රටේ බෞද්ධාගම, හින්දු ආගම, ඉස්ලාම් ආගම, ක්‍රිස්තියානි ආගම අදහන ලබ්ධිකයන් ජීවත් වෙනවා. විවිධ බලවේගයන් විසින් අපේ ශිෂ්ටාචාරයට, අපේ සංස්කෘතියට එල්ල කරන ලද අභියෝගවලදී සෑම විටම අප එකාවන්ව අත්වැල් බැඳ ගැනීම අත්‍යවශ්‍යයි කියා මම විශ්වාස කරනවා. විවිධ ගෝලීය අවශ්‍යතා මත අපට අනන්‍ය වූ අපේ ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය විනාශ කළ හැකිද කියන කාරණය ප්‍රධාන වශයෙන් මෙහිලා සැලකිල්ලට ගත යුතුයි. චීනය වැනි ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් තිබෙන රටක මෙවැනි සමුළුවකින් ලබාදෙන ආදර්ශය සහ මඟපෙන්වීම එහිදී ඉතාමත් වැදගත් වෙනවා. ලෝකයේ ජාතීන් අතර සමඟියත් සුහදතාවත් මිත්‍රශීලීභාවයත් තුළ නැඟෙන මනුෂ්‍යත්වයේ හඬට ශක්තිමත් පදනමක් වැටීමට නම් අප සෑම කෙනකුටම වෙන් වූ එක් එක් ජාතීන්ට අනන්‍ය වූ ශිෂ්ටාචාරයන් සහ සංස්කෘතීන් හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි කියන එක මම සඳහන් කරන්න ඕන.

“ඒ නිසා අද ලෝකයේ ඇති වී තිබෙන විවිධ නොසන්සුන්තාවන් විවිධ හැලහැප්පිලි, විවිධ ගැටුම්, කෙනෙක් යටත් කරගෙන තවත් කෙනෙක් ගොඩනැඟීමට ගන්නා වූ උත්සාහයන් මේ සියල්ලේදී අප සෑම කෙනකුගේම සංස්කෘතියට, අනන්‍යතාවට, ශිෂ්ටාචාරයට, ජාතිකත්වයට ගරු කරමින්, පිළිගනිමින් කටයුතු කිරීමේ වැදගත්කම මම අවධාරණය කිරීමට කැමතියි. එම ඇතිකර ගන්නා අවබෝධය මත ආසියාකරයේ රටවල් වශයෙන් අප තුළ තිබිය යුතු බැඳීම ඉතා වැදගත් කියා මම සිතනවා. ආසියනු රටවල ශිෂ්ටාචාර සහ සංස්කෘතීන් අතර ප්‍රබල බැඳීමක් මම දකිනවා. ආසියාතික රටවල, ශිෂ්ටාචාර සහ සංස්කෘති එක සමාන වූ ගමන් මගක යන බව අපට දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි ආසියාතික රටවල් වශයෙන් මේ බැඳීම අපේ එක්සත්කම අපේ සමඟිය සමඟ ඉදිරියට යාමට උත්සාහ කළ යුතුයි. ලෝකයේ ඇතිවන විවිධ දේශපාලන වෙනස්කම්, ආර්ථික වෙනස්කම් ඒ සියල්ල අභිභවා එක් එක් ජාතීන්ගේ ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය ගමන් ගන්නා බව මම මෙහිදී සඳහන් කළ යුතුයි. රටක ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය නීතියකින්, ව්‍යවස්ථාවකින්, ජාත්‍යන්තර නියෝගයකින් යටපත් කිරීමට කිසිසේත් නොහැකි බවයි මම විශ්වාස කරන්නේ.

“ඔබ අප සෑම කෙනකුම අපට අනන්‍ය වූ ශිෂ්ටාචාරය සහ සංස්කෘතින්ගේ වැදගත් ගති ලක්ෂණ ඔස්සේ මෙවැනි ඉතා වැදගත් සංවාදයකදී අපේ බැඳීම් ශක්තිමත් කර ගනිමින් අපි සෑම කෙනකුගේම ගෞරවය, අනන්‍යතාව, ජාතිකත්ව ආරක්ෂා කර ගැනීමට පුළුල් ජාත්‍යන්තර වැඩපිළිවෙළක අවශ්‍යතාවය දකිනවා. ආසියාතික රටවල මෙවැනි හමුවීමක් තුළින් එය නිර්මාණය වීම ඉතා වැදගත් කියා මම විශ්වාස කරනවා. ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර වශයෙන් ඇති වී තිබෙන ත්‍රස්තවාදී ව්‍යාපාර, ආගමික අන්තවාදයන් ඒවා පරාජය කරමින් නිදහසේ සාමකාමීව ජීවත් වන රටවලට තමන්ගේ රටේ අනන්‍යතාව සහ ගෞරවය ආරක්ෂා කරමින් නිදහස් සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත් වීමට ඔබ සෑම කෙනකුගේම සහාය අවශ්‍යයි. ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදයත් ආගමික අන්තවාදයෙන් බිහිවන ත්‍රස්තවාදයත් ආදියට මුහුණ දෙමින් ඒවා විනාශ කරමින් ජාත්‍යන්තර ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අතුගා දමමින් අප සෑම විටම ජාතීන් වශයෙන් මිත්‍රශීලීව කටයුතු කිරීමේ වැදගත්කමයි මම දකින්නේ.

“ආසියාතික ශිෂ්ටාචාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන මෙවැනි සංවාදයකදී ජාත්‍යන්තර අන්තවාදී ත්‍රස්තවාදය, ආගමික අන්තවාදී ත්‍රස්තවාදය මේ සියල්ල පරාජය කිරීම සඳහා මෙම සමළුවට පැමිණි ඔබ සියලු දෙනාගේම හඬ, එකමුතුව එකඟතාව ඉතා වැදගත් වනවා. මතවාදය එහ එකමුතුව ඉතාමත් මිත්‍රශීලී එකතුවක් ලෙස චීනයේ ජනාධිපති අතිගරු ෂී ජින්පින් මැතිතුමාගේ නායකත්වය තුළ ගොඩනැඟිය යුතුයි කියා මම යෝජනා කරමින් මගේ කතාව අවසන් කරනවා.”