බිංගිරිය කලහකාරීන්ට ඇප දීම වරදක් : මානව හිමිකම් කොමිසමේ සභාපති

බිංගිරිය කලහකාරීන්ට ඇප දීම වරදක් : මානව හිමිකම් කොමිසමේ සභාපති

මුස්ලිම් ජාතිකයන්ට අයත් දේපළවලට හානි කිරීමේ චෝදනාව මත බිංගිරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් කිහිප දෙනෙකුට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ චෝදනා ගොනු නොකර ඇප ලබාදීම වරදක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය පෙන්වා දෙයි. ඇය මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (15) ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

පහරදීම්වල ස්වභාවය අනුව දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා කිරීම වෙනුවට අයි.සී.සී.පී.ආර් පනත යටතේ චෝදනා ගොනු නොකිරීමේ අඩුපාඩුව පොලිස් නිලධාරීන්ට පැහැදිලි කළ බව ප්‍රකාශ කළ ඇය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ පුද්ගලයන් නිදහස් කිරීමට පොලිස් නිලධාරීන්ට දේශපාලන බලපෑම් එල්ල වී ඇති බවයි.

2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය අනුව කිසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙලඹවීම නොකළ යුතුය. ප්‍රචණ්ඩාකාරීව හැසිරුණු පුද්ගලයන්ට එරෙහිව අයි.සී.සී.පී.ආර්. පනත යටතේ නීතිය ක්‍රියාත්මක නොකර ඇප ලබා දීම සම්බන්ධයෙන් ඊයේ (15) ‘රැස’ බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමේදී ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප නොකළ නමුත් පැහැදිලි පිළිතුරක්ද ලබා නොදුන්නේය.

දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් පසුව විශාල පිරිසක් පොලිසිය වට කර උද්ඝෝෂණය කර තිබේ. ඉන්පසුව සැකකරුවන් හෙට්ටිපොළ පොලිසියට ගෙන එන අවස්ථාවේදී එම පොලිසිය වට කළ පුද්ගලයන්ද සැකකරුවන් මුදවා ගැනීම සඳහා බලපෑම් කර තිබේ. ඒ අනුව සැකකරුවන් නැවත බිංගිරිය පොලිසියට ගෙන ගොස් ඇප ලබා දී තිබේ.

[තිඹිරියාගම බණ්ඩාර]

මාතෘකා