පාස්කු ප්‍රහාරය ගැන සොයන්න පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක්

පාස්කු ප්‍රහාරය ගැන සොයන්න පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක්

පාස්කු ඉරිදා එල්ල වූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය හා ඉන් පසු රටේ ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරන බවත් ඒ සඳහා වන සාමාජිකයින් ඉදිරියේදී නම් කරන බවත් කතානායක කරූ ජයසූරිය මහතා ඊයේ (15) මල්වතු අස්ගිරි ස්වාමීන් වහන්සේලා හමු වීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

ජනපති, අගමැති හා විපක්ෂනායක මේ අවස්ථවේ එකට එකතු වී වැඩ කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී පවා කතා කළ බවත් එය තේරුම්ගෙන සියලු දෙනා එකට එකතු වී වැඩ කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඒ මහතා පැවසුවේය. එසේම මෙම අන්තවාදී ප්‍රහාරය සම්බන්ධවත්, එවැන්නක් යළි මෙරට තුළ ඇති වීම වළක්වා ගැනීම පිණිසත් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සහයෝගිතාව හා විශ්වාසය ඇති කිරීමටත්, රට තුළ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය කරුණු සොයා යෝජනා කිරීමටත් පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයාට යෝජනා කරන බවද කථානායකවරයා එහිදී පැවසීය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර තේරීම්කාරක සභාව සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණි බව පැවසූ කථානායක කරූ ජයසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වෙන බව ප්‍රකාශ වුවත් මේ වන තුරු තමන් අතට එවැන්නක් බාරදී නොමැති බවයි.

[අසේල කුරුළුවංශ]

මාතෘකා