අන් අයගේ ජීවිත නසන කාටවත් මුස්ලිම් සුසානයේ ඉඩ නෑ : කිරින්ද ජුම්මා පල්ලියේ මවුලවිතුමා

 ඡායාරූපය:

අන් අයගේ ජීවිත නසන කාටවත් මුස්ලිම් සුසානයේ ඉඩ නෑ : කිරින්ද ජුම්මා පල්ලියේ මවුලවිතුමා

පාස්කු ඉරිදා ප්‍රහාරය මුස්ලිම් බැතිමතුන් ලෙස හෙළා දකින බවත් මිනිස් ඝාතන සිදු කරන කිසිදු මුස්ලිම් ජාතිකයකුට මුස්ලිම් සුසාන භූමියේ ඉඩක් නොලැබෙන බවත් ඊයේ (15) හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති බෝම්බ ප්‍රහාර හේතුවෙන් මියගිය පිරිස් සිහි කරමින් ඔවුන්ට පින් අනුමෝදන් කරවීමේ සර්ව ආගමික උත්සවයට එක්වෙමින් කිරින්ද ජුම්මා පල්ලියේ මවුලවිතුමන් වන අශ්ශේයික් රෂිද් පූජකවරයා පැවසීය.

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම සර්ව ආගමික උත්සවය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෞද්ධ විහාරස්ථාන ඇතුළු අනෙකුත් ආගමික ස්ථානවල ආගමික නායකයන් සහ ආරක්ෂක අංශයන්හි නිලධාරීහු රාශියක් සහභාගී වූහ.

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයට ඉස්ලාම් ආගමේ සම්බන්ධතාවක් නොමැති බවත් ඉස්ලාම් ආගම යනු සාමය හා සංහිඳියාව පතන ආගමක් බැවින් එවැනි ත්‍රස්ත ප්‍රහාරවලට වගකිව යුත්තන්ට වචනයකින් හෝ අනුබල දීමක් සිදු නොවන බවත් මවුලවිවරයා පැවසීය. මෙහිදී අදහස් දැක්වූ තිස්සමහාරාම රාජමහා විහාරයේ විහාරාධිපති දේවාලේගම ධම්මසේන නාහිමි කියා සිටියේ අන්තවාදයට උඩගෙඩි දෙන දේශපාලනඥයන් කවුරුන්ද යන්න පිළිබඳව ජනතාව සිහිබුද්ධියෙන් යුතුව සිටිය යුතු බවයි.

[රාහුල් සමන්ත හෙට්ටිආරච්චි]

මාතෘකා