එළැඹෙන ජනාධිපතිවරණයට පෙර රට ස්ථාවර කරනවා

 ඡායාරූපය:

එළැඹෙන ජනාධිපතිවරණයට පෙර රට ස්ථාවර කරනවා

වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර රට තුළ ස්ථාවරයක් ඇති කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පසුගිය 21 වැනිදා පාස්කු ඉරු දින ප්‍රහාරය පිටුපස IS සටන්කාමී සංවිධානය සිටින බවට තමා විශ්වාස කරන බව රොයිටර් පුවත් සේවය සමඟ අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා කියා සිටියේ පාස්කු දින ප්‍රහාරයෙන් අනතුරුව ආරක්ෂක අංශ ත්‍රස්තවාදය තුරන් කරන බවත් කිසිඳු හේතුවක් නිසාවත් මැතිවරණ කල් දැමිය නොහැකි බවත්ය. එබැවින් ත්‍රස්තවාදය තුරන් කර රට තුළ ස්ථාවරත්වයක් ඇති කරන බව පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ මෙම ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයින් පිළිබඳව මේ වනවිට හඳුනා ගෙන ඇති බවයි.

බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ තවත් ක්‍රියාකාරී සාමාජිකයින් 25ත් 30ත් අතර සංඛ්‍යාවක් නිදැල්ලේ සිටින එම සැකකරුවන් මරාගෙන මැරෙන බෝම්බකරුවන්ද යන්න පිළිබඳව තොරතුරක් නැති බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය. මෙම බෝම්බ ප්‍රහාරවලින් අනතුරුව ISIS සංවිධානය එහි වගකීම බාර ගනිමින් නිවේදනයක් නිකුත් කිරීම නිසා ISIS සංවිධානය මෙම ප්‍රහාරය පිටුපස සිටින බව ඉතා පැහැදිලි බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය. මෙය ශ්‍රී ලාංකික ගැටලුවක් නොවන බව කියා සිටි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ මෙය ගෝලීය ත්‍රස්ත ව්‍යාපාරයක් බවයි. ඇමෙරිකාව, රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය සහ ඔස්ට්‍රේලියාව යන රටවලට එක්වඅද මෙම ගෝලීය ISIS ත්‍රස්ත තර්ජනය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට නොහැකි වී ඇති බව මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.