රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ගුණ සමරු උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ඡායාරූපය:

රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ගුණ සමරු උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

දිවංගත ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වැනි ගුණ සමරු උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ කොළඹ, අලුත්කඩේ රණසිංහ ප්‍රේමදාස පිළිරුව අභියසදී පැවැත්විණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන්ද හේමා ප්‍රේමදාස මැතිණිය ඇතුළු පවුලේ ඥාතීන් මීට එක්ව සිටියහ. ජනාධිපතිවරයා ප්‍රේමදාස පිළිරුව අභියස මල් කළඹක් තැන්පත් කර පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් සහ හේමා ප්‍රේමදාස මැතිණිය, සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස විසින් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක පූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටී අතර ජනාධිපතිතුමා විසින් මහානායක හිමිපාණන් වහන්සේ වෙත අටපිරිකර පූජා කළේය.