තිස්සගේ කූඨ ලේඛන නඩුව කෙටියෙන් නිම කිරීමට දිනයක්

 ඡායාරූපය:

තිස්සගේ කූඨ ලේඛන නඩුව කෙටියෙන් නිම කිරීමට දිනයක්

තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව කෙටියෙන් අවසන් කර ගැනීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා එම නඩුව අප්‍රේල් මස 4 වැනිදා කැඳවන මෙන් කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (25) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේදී කැඳවනු ලැබීය.

 

එහිදී විත්තිකාර තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින් මෙම නඩුව කෙටියෙන් අවසන් කර ගැනීම සම්බන්ධයෙන් පැමිණිලිකරුවන් සමඟ කරුණු හුවමාරු කරගෙන ඇති බව දන්වා සිටියේය. එහි ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥ ඉන්දතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එහිදී නඩුවේ පළමුවන සාක්ෂිකරු වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා මෙන්ම දෙවන සාක්ෂිකරු ලෙස නම්කර තිබෙන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂ්මී ජයවික්‍රම මහත්මියද කරුණු දක්වමින් මෙම නඩුව කෙටියෙන් අවසන් කර ගැනීම සම්බන්ධයෙන් කරුණු හුවමාරු වන බවත් ඒ සඳහා දිනයක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

 

ඒ අනුව නඩුව නැවත ලබන මස 4 වැනිදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන් නඩුවේ පාර්ශවකරුවන්ට දැනුම් දුන්නේය. පසුගිය ජනාධිපතිවරණය සමයේ එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර රහසිගත ගිවිසුමක් පවතින බවට සඳහන් කූඨ ලේඛනයක් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රදර්ශනය කිරීම තුලින් ජාතීන් අතර පවතින සුහදතාවය කඩාකප්පල් කිරීමට ක්‍රියා කිරීම තුළින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ප්‍රඥප්තිය පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබිණ.