හම්බන්තොට උදාවේ වැඩ අරඹයි

 ඡායාරූපය:

හම්බන්තොට උදාවේ වැඩ අරඹයි

අපනයන ආදායම බිලියන 7යි

සෘජු රැකියා 7,000යි - වක්‍ර රැකියා 3,000යි

මාස 44කින් නිම වන - කෝටි 88,000ක

තම උපන්දිනය වෙනුවෙන් ලැබුණු වටිනාම ත්‍යාගය හම්බන්තොට තෙල් පිරිපහදුව සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව බවත් මේ යටතේ රුහුණු ආර්ථික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට හම්බන්තොට පත් කරන බවත් ඒ සඳහා විශේෂ නීති සැකසීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (24) හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණයේ සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් වලට මුල්ගල තැබීම සඳහා එක්වෙමින් පැවසීය.

මාස 44 ක කාලය තුළ නව තෙල් පිරිපහදුව අක්කර 200ක භූමි භාගයක ඉදිකිරීමට නියමිත අතර එහි නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ වීමෙන් පසු දේශීයව මෙන්ම විදෙස් රටවලටද තෙල් අපනයනය කිරීමෙන් මෙරට අපනයන ආදායම බිලියන 7කින් පමණ වැඩි කර ගැනීමට හැකි වනු ඇති බවට ගණන් බලා තිබේ. මෙම ව්‍යාපෘති 2න් 7000ක සෘජු රැකියා බලාපොරොත්තු වේ.

මෙහිදී අදහස් දැක්වූ ඕමානයේ තෙල් පිරිපහදු හා ගෑස් පිළිබඳ අමාත්‍ය ආචාර්ය මොහොමඩ් බින් හමීඩ් අල් රූමි (Dr Mohammed bin Hamad Al Rumhy) මහතා පවසා සිටියේ හම්බන්තොට ඉදිකිරීමට නියමිත තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ කොටස්කරුවන් වීම මෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ජනතාව වෙනුවෙන් මෙම ව්‍යාපෘතියට දායකත්වය ලබාදීම පිළිබඳවද සතුටු වන බවයි.

වසර දහසක පමණ සිට ඕමානය සමඟ ඓතිහාසික සබඳතාවක් පවතින ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ කොටස්කරුවෙකු බවට ඕමානය පත් වීම සම්බන්ධයෙන් තමා පෞද්ගලිකවම සතුටට පත්වන බවත් මෙවැනි ජනතාවක් ඉදිරියේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන අයුරු දැකගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා නොකළ බවත් ඒ මහතා පැවසීය. මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අක්කර 64ක භූමියක් පුරා ඉදිකිරීමට නියමිත සිමෙන්ති කර්මාන්ත ශාලාව මඟින් වසරක් තුළ මෙට්‍රික් ටොන් 3.6ක සිමෙන්ති නිෂ්පාදනය කිරීමටද එහි ඉදිකිරීම් කටයුතු මාස 18ක් ඇතුළත අවසන් කිරීමටද නියමිතය. මෙහිදී අදහස් දැක්වූ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සිමෙන්ති කර්මාන්ත ශාලාවෙන් සෘජු රැකියා 500ක් බිහි වන අතර ඒ හරහා පවුල් 2,000කට පමණ සෙත සැලසෙන බවයි. එසේම තෙල් පිරිපහදු කර්මාන්ත ශාලාවෙන් සෘජු රැකියා 1,500ක් හා වක්‍ර රැකියා 3,000ක් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා