දිනපතා උදෑසන සහ සවස් කාලයේ විදුලි කප්පාදුවක්

 ඡායාරූපය:

දිනපතා උදෑසන සහ සවස් කාලයේ විදුලි කප්පාදුවක්

දෛනිකව උදෑසන සහ සවස් කාලයේ පැය කිහිපයක කාලයක් විදුලි කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු සඳහන් කළේ, උදෑසන 8.30 – 11.30ත් අතර පැය 3ක කාලයක් සහ සවස 6.30 – 7.30ත් අතර කාලයේ හෝ රාත්‍රී 7.30 – 8.30ත් අතර පැයක කාලයක් එම විදුලි කප්පාදුව සිදු කිරීමට පියවර ගෙන ඇති බවයි.

පවතින වියළි කාලගුණයත් සමග විදුලිය සඳහා අධික ඉල්ලුමක් පැවතිය ද ඊට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද එම මණ්ඩලය පෙන්වා දෙයි. මෙරට ග්‍රීඩ් උපපොළවල් 50කට අධික සංඛ්‍යාවක් පවතින අතර එම ග්‍රීඩ් උපපොළවල් මට්ටමින් මෙම විදුලි කප්පාදුව සිදුවේ. විදුලි කප්පාදුවකින් තොරව විදුලි සැපයීමක් සිදුවුවහොත්, විදුලි බල සමතුලිතතාව බිඳවැටීමේ අවදානමක් නිර්මාණය වන බවද විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කරයි.

පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ මේ වන විට සමාන්‍ය දිනක දහවල් කාලයේ විදුලි ඉල්ලුම මෙගාවොට් 2350ක් පමණ වන අතර ඉන් සැපයිය හැක්කේ, මෙගාවොට් 1950ක පමණ ප්‍රමාණයක් බවද ලංකා විදුලි බල මණ්ඩලය පෙන්වා දෙයි. සාමාන්‍ය දිනක රාත්‍රි කාලයේ විදුලි ඉල්ලුම මෙගා වොට් 2600 ඉක්මවන අතර මේ දිනවල සැපයෙන ප්‍රමාණය මෙගාවොට් 2300ක් පමණ වේ. මේ සම්බන්ධයෙන් පසුගිය වසරේ අවසන් මාස කිහිපයේ සිට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය දැනුවත් කළද ඊට නිසි පිළිතුරු ලබානොදීම හමුවේ මෙම ගැටලුව නිර්මානය වී ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා අනාවරණය කළේය.