නාගානන්දගේ ලෝගුව වසර 3කට ගලවයි

නාගානන්දගේ ලෝගුව වසර 3කට ගලවයි

සිවිල් සමාජ කියාකාරියෙකු වන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර තුනකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18) තීන්දු කළේය.

2015 වසරේ එවකට අභියාචනාධිකරණය සභාපතිව සිටි විජිත් මළල්ගොඩ මහතාට අපහාසවන අන්දමින් අධිකරණය තුළ හැසිරීම සම්බන්ධයෙන් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය කළ විභාගය අවසන් කරමින් අගවිනිසුරු නලින් පෙරේරා, සිසිර ද ආබෘ සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කෙරිණි.

2015 වසරේ මැයි මස 23 වැනිදා එවකට අභියාචනාධිකරණ සභාපති විනිසුරු වශයෙන් කටයුතු කළ විජිත් මලල්ගොඩ මහතා ඉදිරියේ පැවති රේගු නඩුවකදී ඒ මහතා අපහසුතාවට පත්වන අයුරින් නීතිඥවරයෙකුට නුසුදුසු ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා කරමින් නාගානන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා කියා සිටියේ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සිදුකළ ප්‍රකාශය ඉතා බරපතළ එකක් බවත් ඒ තුළින් අධිකරණ ක්‍රමය කෙරෙහි පවතින විශ්වාසය පලුදු වීමට හේතු වන බවත්ය. එසේම මෙම චෝදනාව පදනම් විරහිත අසත්‍ය චෝදනාවක් බවත් පෙන්වාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා ඒ තුළින් ඔහු නීතිඥවරුන්ගේ ආචාරධර්ම සංග්‍රහයේ 60 සහ 61 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවද කියා සිටියේය. ඒ අනුව අධිකරණ සංවිධාන පනතේ 42(2) වැනි වගන්තිය නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් උල්ලංඝනය කර ඇති නිසා අදාළ චෝදනාවට ඔහු වරදකරු කර ඔහුගේ නීතිඥභාවය වසර තුනකට තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන බවද විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා සිය නඩු තීන්දුවෙන් කියා සිටියේය.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා