අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට මංගලගෙන් අනු කමිටු 06ක්

 ඡායාරූපය:

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට මංගලගෙන් අනු කමිටු 06ක්

අයවැය යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කොට යතාර්ථයක් බවට පත්කිරීම සඳහා තමා විසින් අනු කමිටු 06ක් පත් කරන බවත් දැනටමත් ඉන් එක් කමිටුවක් පත්කොට ඇති බවත් මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (13) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට ඇත්තේ මාස 07ක් වැනි සුළු කාලයක් පමණ වන බැවින් වඩාත් ප්‍රමුඛතාවය දිය යුතු යෝජනා මෙම කමිටු මඟින් ක්‍රියාත්මක කිරීමට යන අතර ඒ පිළිබඳ වගකීම එම කමිටුව වෙත පැවරෙන බව අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

මේ වසරේ (2019) උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වී ප්‍රථම තැන ගන්නා සිසුන් 14 දෙනෙකුට ඉහළ පෙළේ විදේශ විශ්ව විද්‍යාලවල උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ ක්‍රමයක් මෙවර අයවැයෙන් යෝජනා කොට ඇත. ඒ සඳහා රුපියල් මිලියන 168ක මුදලක් ද වෙන්කොට තිබේ. 2020 වසරේදී මෙම ශිෂ්‍යත්ව සංඛ්‍යාව 30 දක්වා වැඩිකොට දිස්ත්‍රික්ක මට්ටමෙන් ඉහළ දක්ෂතා දක්වන සිසුන්ටද අවස්ථාව ලබාදීමට අදහස් කරන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

මසකට රුපියල් 5000කට වඩා පොලියක් ලැබෙන ළමා ඉතුරුම් ගිණුම් වලින් බදු අයකරන බවට එල්ල වන චෝදනා ගැන මෙහිදී සඳහන් කළ මුදල් ඇමතිවරයා මසකට රුපියල් 5000ක පොලීයක් ලැබීමට නම් එම ගිණුමේ රුපියල් ලක්ෂ 12ක් තිබිය යුතු බවත් එතරම් විශාල මුදලක් ගිණුමේ තිබෙන අයගෙන් බදු අය කිරීමේ කිසිදු වරදක් නැති බවත් පැවසීය.