කාන්තාවන් ඉලක්ක කර ගත් විශේෂ වැඩ සටහන් මෙවර අයවැයෙන් හඳුන්වා දී තිබෙනවා

 ඡායාරූපය:

කාන්තාවන් ඉලක්ක කර ගත් විශේෂ වැඩ සටහන් මෙවර අයවැයෙන් හඳුන්වා දී තිබෙනවා

කාන්තාවන් ඉලක්ක කර ගත් විශේෂ වැඩ සටහන් මෙවර අය වැයෙන් හඳුන්වා දී තිබෙන බවත් මේ වන විට මෙරට කාන්තාවට සම තැන කෙසේ වෙතත් නිසි තැන ලැබෙමින් පවතින බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය. අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේ පැවති කොළඹ ජාත්‍යන්තර කාන්තා චිත්‍රපට උළෙලට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද කීවාය.

 

කාන්තාව කියන්නේ අපේ සමාජය තුළ විශේෂයෙන්ම ගෙදර අම්මාගේ චරිතය නිරූපණය කරපු, කාන්තාවන් කිවුවහම ශීලාචාරකමක් හැදිච්ච කමක් ඇතිව ජීවත් වෙච්ච ප්‍රතිරූපයක් තමයි අපි දැක්කේ. ඉතින් අද ඒ කාන්තාව මේ සමාජය තුළ ගොඩාක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම නිසි තැන සම තැන කෙසේ වෙතත් නිසි තැන ලැබෙමින් පවතිනවා. මම හිතන්නේ හැම තැනකදීම කාන්තාව ඉදිරියට ගන්න පුළුවන් වැඩ කටයුතු රාශියක් ගෝලීය මට්ටමින් රජයේ මට්ටමින් මේ හැම ආකාරයකින්ම සිදු කරනවා. තියෙන වටපිටාවත් එක්ක කාන්තාවකට දේශපාලනයේ රැඳිලා ඉඳීමේ අපහසුතාවයක් තියෙනවා. විශේෂයෙන්ම කාන්තාවන් හැටියට ඉන්න පිරිස පිළිබඳව අපිට සෑහීමකට පත් වෙන්න බැහැ. මීටත් වැඩිය කිසිදු තීන්දු තීරණ ගන්න තැන්වල ඉන්නවා නම් හොඳයි කියලා තමයි මම හිතන්නේ. කාන්තාව කියන්නේ සාමාන්‍ය ලෝකයේ ගොඩාක් තැන්වල ඉදිරියට ඇවිල්ලා තියෙන චරිතයක්. එදිදෙනා වැඩ කටයුතු රාශියක් ඒ අයට භාරදීලා තියෙනවා. ඒ තුළ අපි බැලුවොත් සමහර රටවල්වල පොලිස්පතිතුමියන්ලා ඉන්නේ. ඉතින් අපි ඒ අතින් බලන කොට ගොඩාක් පිටුපසින් ඉන්නේ. මම ඒකයි කිවුවේ එන්න එන්නම කාන්තාව ඉදිරියට එමින් ඉන්නවා හැම සේවයකම.

අයවැයේ විශේෂයෙන්ම කාන්තාවන් ඉලක්ක කර ගත්ත යම් යම් වැඩ සටහනුත් තියෙනවා. ඉතින් අපි කියපු විදේශ ගතවන කාන්තාවන් සම්බන්ධයෙන් හැම කෙනෙක්ම පිටරටකට යන්නේ තමන්ට කියලා ගෙයක් හදා ගන්න කියලා මං විෂය භාර ඇමතිවරිය හැටියට හිටපු හින්දා මට කියන් පුළුවන්. ඉතින් ඒකෙදී ගරු මුදල් ඇමතිතුමා වෙනම ණය ක්‍රමයක් ඇති කරලා තියෙනවා. විදෙස් ගතවන කාන්තාවන්ට ඒ නිවාස ණය ලබා දෙන්න ඒ වගේ කිහිපයක් ලැබිලා තියෙනවා.


මම අද සන්තෝෂ වෙනවා විනාඩියකට හරි මේ වගේ වැඩ සටහනකට ආවේ කාන්තාවන් විසින් සංවිධානය කරපු චිත්‍රපට උළෙලට. අනෝමා රාජකරුණා මැතිණියට මම ස්තූතිවන්ත වෙනවා තවත් කිහිපයක් ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධ කර ගෙන දවස් 7ක් තිස්සේ කාන්තාවන් විසින් නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපට පෙන්නලා. අවසාන දවසේ සුමිත්‍රා පීරිස් මැතිණිය විසින් එතුමියට උපහාරයක් ලෙස එතුමිය මේ සිනමාවට කරපු සේවය ඇගයීමට මේ වගේ කටයුත්තක් හෙට දවසේ කාන්තා දිනය සැමරීමට තිබියදී සිදුවීම පිළිබදව අපි සන්තෝෂ වෙනවා. අපි සුමිත්‍රා පීරිස් මැතිණියට නිදුක් නීරෝගී යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.