අපේ වටිනාම දේවල් දරුවන්ට ලබා දිය යුතු බව ඇමති පාඨලී කියයි

 ඡායාරූපය:

අපේ වටිනාම දේවල් දරුවන්ට ලබා දිය යුතු බව ඇමති පාඨලී කියයි

අපි මොන සංවර්ධන ක‍්‍රමයක් යෝජනා කළත් වැඩක් නැහැ. මහපොළොවේ එය කි‍්‍රයාත්මක කරන්න මිනිස්සු නැත්නම්. ඒ වෘත්තීය නිපුණතාවය සහිත පිරිස් නැත්නම්. ඒක අද අපට තිබෙන විශාල අර්බුදයක්. මොකද සැලකිය යුතු පිරිසක් පෞද්ගලික අංශයට, විදේශ රටවල්වලට ගමන් කර තිබෙන නිසා. මේ රටේ ඉංජිනේරු සේවාව ගැන කියනවා නම් පසුගිය දශක තුනක කාලයක ඉංජිනේරු සේවාවේ පමණක් සියයට 40ක ප‍්‍රමාණයක් උපාධිධාරීන් විදේශගත වෙලා තිබෙනවා. ඉතින් මේ කාරණය ගැන මම හිතනවා අපේ මුදල් ඇමතිතුමත්, ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු අපේ සියළුම දෙනා උනන්දුවෙන් සලකා බලයි කියා මේ වෘත්තීයවේදීන්ගේ ගැටළුවත් මේ හා සමගම, මේ වැටුප් වැඩිකිරීමත් සමගම සලකා බලලා ඔවුනට මේ රටේ සතුටෙන් වගේම තමන්ගේ නිපුණතාවය මත කි‍්‍රයා කළ හැකි වටාපිටාවක් ඇති වෙයි කියා. ඒ වගේම අවසාන වශයෙන් ඉතාම දුෂ්කර, සීමාකාරී මූල්‍ය වටපිටාවක් ඇතුළත කිසියම් ආකාරයකට සමබර, කිසියම් ආකාරයකට රටේ පොදු ජනතාවට සහන ගලා යන, වැඩකරන ජනතාවට සහන ගලායන ඒ වගේම ආයෝජන ක්‍ෂෙත‍්‍රයට යම් ඉඩ කඩක් ලබාදෙන අයවැයක් ඉදිරිපත් කිරීම ගැන මුදල් ඇමතිතුමා, රාජ්‍ය ඇමතිතුමා ඇතුළු ඒ නිලධාරී මණ්ඩලයට අපේ ස්තූතිය පිරිනමණ අතරේ, අපි අද පෙළෙන මූල්‍ය ප‍්‍රශ්න පිළිබඳව අපි දේශපාලනමය කෝණයකින් ඔබ්බට ගිහින් මේ රටේ සිදු වූ මේ දේ කෙටිකාලීන දේවල් වෙනුවෙන් ආදායම් උපදවන්නේ නැති නිර්මාණ, ඉදිකිරීම් වෙනුවෙන් අපි වැය කරලා දුක විඳින ප‍්‍රශ්නය අපේ ජනතාව ගැන කල්පනා කර බලා ඉදිරියේදීවත් ජනපි‍්‍රය දේශපාලනය සඳහා මගේ ගමට වරාය, මගේ ගමට ගුවන් තොටුපල, මගේ ගමට අධිවේගී මාර්ගය, කර්මාන්ත පුරය, විශ්ව විද්‍යාලය කියන දේ නෙමෙයි, ඒ වගේම හොඳම දේවල් මුලින්ම මගේ පවුලට, දෙවනුව මගේ හිතවතුන්ට කියන පදනමින් නෙමෙයි කොහේද විද්‍යානුකූල වරාය අවශ්‍ය වන්නේ එතන වරාය, ගුවන් තොටුපල, අධිවේගී මාර්ගයන්, කම්හල්. විශ්ව විද්‍යාලය ඒ තැන්වල හදමු. ඒ වගේම වටිනාම දේවල් අපි අපේ දරුවන්ට ලබාදෙමු කියා යෝජනා කරනවා. යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) පාර්ලිමේන්තුවේ පැවති 2019 අයවැය විවාදයට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

 

මෙවර පළවෙනි මාස 4 සඳහා ගිණුමක් හැටියට වියදම් පියවාගෙන මේ වසරේ නිල අයවැය නිකුත් කරන අවස්ථාව. මේ අවස්ථාවේදී පොදුවේ මේ රටේ ආර්ථිකය, මේ රටේ සමාජ දර්ශක ඒවා පවතින්නේ කොතනද කියන එක ගැන අපි හැම කෙනාම යම් අවබෝධයක් ලබාගැනීම සුදුසුයි කියා මා සිතනවා. මොකද අපි පුරුදු වෙලා ඉන්නවා නිතරම මේ රටට බණින්න. රටේ නරක කතා කරන්න. වෙන රටකට යන්න පෙළඹෙන විදිහට අපේ දරුවෝ ඇතිකරන්න. ඒ නිසා මේ රට ඉන්න හිතෙන තැනක් නොවේය කියන එක අපේ දරු පරම්පරාව තුළ දැන් ස්ථාපිත වෙලා තිබෙනවා.

අද මේ රටේ ජනගහනයෙන් සියයට 15ක් විදේශ ගත රැකියා හෝ ස්ථිරවම මේ රටින් ගිහින් තිබෙනවා. කොළඹ නගරයෙන් පසුව වැඩිම සිංහල ජනගහණය ඉන්නේ ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නගරයේ. ඒ වගේම යාපනයෙන් පසුව වැඩිම දෙමළ ජනගහනයක් ඉන්නේ කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ. අද මේ රට අපේ ජනතාවට, අපේ දරුවන්ට ඉන්න හිතෙන තැනක් නොවේය කියන මතයක් අදහසක් ඇතිවී තිබෙනවා. නමුත් මේ රට පසුගිය නිදහසෙන් පසුව ඇතැම් ක්‍ෂෙත‍්‍රවල විශාල ජයග‍්‍රහණයක් ලබාගෙන තිබෙන බවත් අපි කිව යුතුයි. එක් ක්‍ෂෙත‍්‍රයක් තමයි අපේ සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රය. ලෝකයේ ඇතැම් දියුණුයි කියන රටවල්වලට පවා නිදහස් විශ්වීය සෞඛ්‍ය සේවයක් නැහැ. මේ රටේ සෞඛ්‍ය සේවයට කොපමණ බැන්නත් මේ රටේ ආයු අපේක්ෂාව අපෙත්, ඇමරිකා එක්සත් ජනපදයෙත් සමානයි. අපට වඩා 15 ගුණයක ඒක පුද්ගල ආදායමක් තිබෙන එක්සත් ජනපදයට සමාන ආයු අපේක්‍ෂාවක් අපට තිබෙනවා. ඒ වගේම පළවෙනි ලෝකයේ තත්වයට සමාන මාතෘ මරණ අනුපාතයත්, ළදරු මරණ අනුපාතයත්, වසංගත රෝග මර්ධනයත් අපි කරල තිබෙනවා. එහෙමනම් අපිට සතුටු වෙන්න පුළුවන් නිරෝගී ජනතාවක් අපි එක්ක ඉන්නවා කියලා. ඒ අතරෙම අපට ප‍්‍රශ්නයක් ඇති වී තිබෙනවා අපි ධනවත් රටක් නොවී වියපත් ජනතාවක් ඉන්න රටක් බවට පත්වීම නිසා අපට අනාගතයේ බරපතල ප‍්‍රශ්න ඇතිවීමට නියමිතයි. දැනටමත් ශ‍්‍රම බලකාය වැඩිවෙන වේගය, ඒ වගේම වියපත් ජනතාව ඇතිවෙන වේගය කියන මේ කාරණා දිහා බැලූවහම ශ‍්‍රී ලංකාව ක‍්‍රමයෙන් වියපත් ජනතාව සිටින ස්ථානයක් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා ධනවත් නොවී. මේක අපට බරපතල ප‍්‍රශ්න ගෙනෙන දෙයක්. උදාහරණයක් විදිහට ජපානය ධනවත් රටක්, වියපත් උනාට ප‍්‍රශ්නයක් නැහැ. ඒ අයට ඒ අයගේ වැඩිහිටියන් රැක බලා ගන්න පුළුවන්. අපි ඒ තත්වයේ, අපි ධනවත් නොවී වියපත්, ඒ වගේම නීරෝගී ජනතාවක් ඇතිකර ගත යුතුයි.

අධ්‍යාපනය ගත්තත්, සාක්ෂරතාවය බැලුවත්, ඒ වගේම ප‍්‍රාථමික අධ්‍යාපනයට යොමු වීම දිහා බැලුවත් අධ්‍යාපනයේ අනෙකුත් ක්‍ෂෙත‍්‍රවල අපි ලබාගෙන තිබෙන ජයග‍්‍රහණ දිහා බැලුවත් කොච්චර විවේචන ඉදිරිපත් කළත් මේ රට අද පළවෙනි ලෝකයේ මට්ටමට ඇවිත් තිබෙනවා. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ මේ රටේ සමාජ අරගල දෙකක්, විප්ලව දෙකක්, සන්නද්ධ කැරළි දෙකක් 1971ත්, 87-89 ත් ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කළා. මොකද්ද ආදර්ශ රාජ්‍යය. ආදර්ශ රාජ්‍යය කියුබාව. වීරයා පිදෙල් කැස්ත්‍රෝ. අද 1960 ලංකාව යම් තැනක තිබුණද, කියුබාව යම් තැනක තිබුණද අද ඒ ආදර්ශ රටේ තත්ත්වය සෑම සංගුණකයකින්ම මානව සංවර්ධන සංගුණකයෙන් කියුබාවයි, ලංකාවයි 2018 දී සමාන වෙලා තිබෙනවා. එහෙම නම් අපි අපේ රටට කොපමණ බැන්නත් සමාජ විප්ලවයකින් පවා කරන්න බැරි වූ යම් යම් කාරණා, මේ රටේ නිදහස් අධ්‍යාපනය ගෙන ආපු සී.ඩබ්.ඩබ්. කන්නංගර මැතිතුමා වැනි අය, ඒ වගේම නිදහස් සෞඛ්‍ය සේවය ගෙනආපු අය ඒ කාරණය ඉටු කර තිබෙනවා.

ඒ නිසා මේ යහපාලන රජය බලයට පත් වූ දා සිට මාර්ග සංවර්ධනය පැත්තට සියයට 45කට වඩා බර තබන ප‍්‍රාග්ධන වියදමක් තිබුණේ. ඒ වෙනුවට අපි මානව සංවර්ධනය මේ අධ්‍යාපනය, සෞඛ්‍ය සහිත නිරෝගීමත් උගත් ජනතාවක් ඇති කර ගැනීමේ කි‍්‍රයාදාමයක නියැලිලා තියනවා කියන එක අපි කිව යුතුයි. ඒ වගේම අපේ පරිසර දර්ශක විශේෂයෙන්ම වායු දූෂණය නිකුත් උනා මේ මෑතදි, ඉහළම වායු දූෂණය තිබෙන රටවල් වල නගර 10ම පිහිටලා තිබෙන්නේ මේ දකුණු ආසියාවේ. අපේ කොළඹ නගරය ජනාකීර්ණම නගරය හෝ වෙනත් හැම නගරයක්ම අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආකාරය අනුව ගත්තහම ඒ වායු දූෂණ දර්ශක වලින් හොඳ මට්ටමක තිබෙනවා.

ඒ වගේම පාංශු දූෂණය එහෙමත් නැත්නම් කාබන් විමෝචනය කියන මේ හැම කාරණාවකින්ම අපි හොඳ තත්වයක තිබෙනවා. මේ හොඳ තත්වය අපි ආරක්‍ෂා කර ගත යුතුයි. ඉදිරිය කරා යද්දි ඉදිරි සංවර්ධනය කරා යද්දි. එහෙම නම් අපි කොහෙද පසු පසින් සිටින්නේ. අපි පසුපසින් සිටින කාරණය තමයි අපේ ආර්ථිකය. ඒ වගේම ආර්ථිකයේ අලුත් උපාය මාර්ගය වන නවෝත්පාදන උපාය මාර්ගයේදී නවෝත්පාදනය පැත්තෙන් අපි ඉන්නේ පසුපසින්. ඒ වගේම ව්‍යාපාරයක් අලූතින් ආරම්භ කරන්න ගියහම ඒ ව්‍යාපාරයක් අලූතින් ආරම්භ කරන්න තිබෙන හැකියාවෙන් අපි ඉන්නේ පසු පසින්. ඒ වගේම ණය ගැති භාවය පිළිබඳ කාරණයේදී අපි ඉන්නේ පසු පසින්. දැන් අද මෙතන විශාල වශයෙන් සංවාද කලා මේ ආණ්ඩුව ණය අරන් තිබෙනවා අච්චර, මෙච්චර ඒ ණයවලින් කළ සංවර්ධනය මොකද්ද කියලා. විශේෂයෙන් මම කිව යුතුයි 1959 දී මේ රටේ ඒක පුද්ගල ආදායම 100 ක් නම් මේ 2017 වන විට මේ ඒක පුද්ගල ආදායම අපට පුළුවන් වෙලා තිබෙනවා 29ගුණයකින් වැඩි කර ගන්න. 1959ට සාපේක්‍ෂව. නමුත් ණයගැති භාවය, 1959 දී 100 නම් අද ණයගැති භාවය 77 ගුණයකින් වැඩිවී තිබෙනවා. එහෙම නම් එක පුද්ගලයෙකුගේ ආදායම 29 ගුණයකින් වැඩවන විට, ණය ගැති භාවය 77 ගුණයකින් වැඩි වී තිබෙනවා. එය තමයි අද අපි පෙළෙන අර්බුදය අපි කවුරුත් දන්නවා මේ ණය ගැතිභාවය ගැන කතා කරන විට දළ ජාතික නිෂ්පාදනයට සාපේක්‍ෂව ණය ගැති භාවය අච්චරයි මෙච්චරයි කියා අඩු කරලා පෙන්වනවා. වැදගත් දේ ඒක නෙමෙයි මේ රටේ අවස්ථා දෙකකදි 88-89, 2004 දි අපේ ණයගැති භාවය දළ දේශීය නිෂ්පාදනයෙන් 100% ඉක්මවලා ගියා. ඒ වගේම අපි දන්නවා පසුගිය කාලයේ2014,2015 කාලේ විවිධ රාජ්‍ය ආයතන ඇතුළින් ණය හංඟලා, ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුලෙන් ටි‍්‍රලියන ගණනක ණය හංගලා රටේ විශේෂයෙන්ම දළ දේශීය නිෂ්පාදනය සාපේක්ෂව ණය බර අඩුයි කියල පෙන්වන්න උත්සාහ කළා. වැදගත් දේ තමයි මේ ණයවල සංයුතිය මොකද්ද? සහනදායී ණයද අපට තිබෙන්නේ. එහෙමත් නැත්නම් කෙටිකාලීන වාණිජ ණයද අපි අරන් තිබෙන්නේ.

ගරු මූලාසනාරූඪ මන්ත‍්‍රීතුමනි, මීට දශකයටකට කලින් 2008 දී මේ රටේ ණය කල් පිරෙන ප‍්‍රමාණය ආසන්නයෙන් අවුරුදු 14ක් පමණ උනා. මොකද සහනදායී ණය විශාල ප‍්‍රමාණයක් තිබූ නිසා. 2004දී මේ රටේ වාණිජ ණය තිබුණේ මුළු ණය ප‍්‍රමාණයෙන් සියයට 4යි. අද මොකද තත්වය මේ ණයවල කල්පිරීමේ සීමාව අවුරුදු 7කටත් වඩා අඩු ගාණක් වෙලා තිබෙනවා. ඒ කියන්නේ ඉතාම කෙටි කාලීන ණය අපට වෙලා තිබෙන්නේ. ඒ වගේම අද වාණිජ ණය ප‍්‍රමාණය සියයට 55 ඉක්මවලා තිබෙනවා. මේ නිසා මොකද වෙලා තිබෙන්නේ. අද අපි ගන්නා ණය වලින් වැඩි ප‍්‍රමාණයක් අපි ලබා ගන්නේ පැරණි ණය පියවීම සඳහායි. විශේෂයෙන්ම මේ 2019 වර්ෂයේදී 1948 සිට 2004 දක්වා ගත් සියළුම ණය, සේනානායකලා, බණ්ඩාරනායකයලා, ජයවර්ධනලා, රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපති ඇතුළු මේ සියළුම දේශපාලන නායකයෝ ගත්ත ණයවලින් අපට ගෙවන්න වෙලා තිබෙන්නේ සියයට 11යි. අනෙක් 89% ගෙවන්න වෙලා තිබෙන්නේ අර 2004න් පසුව ගත්ත ණය. මෙන්න මේකයි මේ ණය බරේ වෙනස කියන එක ඔය ණයබර ගැන කතා කරන විශේෂඥයින්ට අපි කිව යුතුයි.

ඒ වගේම අපි විශේෂයෙන්ම ප‍්‍රකාශ කළ යුතුයි අද අපේ තිබෙන අර්බුදය. අද අපි සංවර්ධනයට රුපියල් බිලියන 734ක් වියදම් කරන බව කියා තිබෙනවා. පොලිය ගෙවන්න යනවා අටසිය ගණනක්. ඒ වගේම ණය ගෙවන්න යනවා 2,200ක්. මොකද්ද මේකේ ඇත්ත. ප‍්‍රාග්ධන වියදම මේ රටේ රෝහල් හදන්න, පාසල් හදන්න, නගර හදන්න, සමෘද්ධිය දෙන්න, දුගියා නංවන්න, නිවාස හදන්න මේ හැම දෙයටම එක රුපියලක් වියදම් කරන විට රුපියල් 3 ක් ණය ගෙවන්න වියදම් කරන රටක් බවට මේ රට අද පරිවර්තනය වෙලා තිබෙනවා. මේක තමයි අපේ ගැටලුව. ඒ වගේම ප‍්‍රාග්ධන වියදමට වඩා වැඩි ප‍්‍රමාණයක් අද සිදුවෙලා තිබෙනවා ණය පොලී විතරක් ගෙවන තත්වයට පත් වෙලා තිබෙනවා. මේක තමයි මේ ණය අර්බුදයේ ස්වරූපය. ඊ ළඟට රාජ්‍ය ආයතන අති විශාල වශයෙන් ණය බරෙන් පෙළිලා තිබෙනවා. ඒ ණය බරෙන් පෙළිලා තිබෙන තත්වය ගැන මම ඉතාම කෙටියෙන් කියන්නම් මේ ආර්ථික කළමනාකරණය ගැන කතා කරන නිසා.

මේ ආර්ථික කළමනාකරණය ගැන තිබෙන හොඳම උදාහරණය තමයි ශ‍්‍රී ලංකන් සේවය, 2008දී එය ආණ්ඩුවට ලබාගන්න කොට එමිරේට්ස්ලගෙන් රුපියල් බිලියන 14ක සමුචිත ලාභයක් සහිතව ලඟාකර ගත්තේ. අද මොකද්ද තත්වය අද මේ වසර වන විට මෙහි සමුචිත පාඩුව අනුක‍්‍රමයෙන් වැඩිවී රුපියල් බිලියන 200 සීමාවත් ඉක්මවා ගොස් තිබෙනවා. මොකද්ද මෙයින් කියන්නේ, පාසල් නිල ඇඳුම් දෙන්න අපි වැය කරන්නේ රුපියල් බිලියන 25 යි. දරුවන්ට බස්වල යන්න සීසන් එකට රුපියල් බිලියන 20 යි. ඒ වගේම පොත්පත් ලබාදෙන්න බිලියන 38 යි. මහපොල ඇතුළු උසස් අධ්‍යාපනයට බිලියන 12යි. තී‍්‍රපෝෂ දෙන්න බිලියන 17යි. පෝෂණ මල්ලට 16 යි. ඔක්කොම එකතු කළත් 128 ටයි. මේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව විතරක් 200 පැනලා තිබෙනවා. කවුද මේක පාලනය කළේ, නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ඒ වගේම පී.බී. ජයසුන්දර, සජින් වාස් ගුණවර්ධන, රොෂාන් ගුණතිලක මෙන්න පාලනය කළ අය. මේ අයගේ කළමනාකරණ හැකියාව. අද මොකද කර තිබෙන්නේ සෑම පුද්ගලයෙක්ම රුපියල් 12,000කට අධික ප‍්‍රමාණයක ණයගැතියෙක් බවට පත්කර තිබෙනවා මේ තනි රාජ්‍ය ආයතනය පමණක්. එහෙම නම් මේ කළමනාකරණයේ තත්වය ගැන, රටේ විනය ඇති කර කළමණාකරණය ඇතිකිරීමේ තත්වය ගැන අපට හිතා ගන්න පුළුවන් ඉදිරි කාලයේදී.

ඒ වගේම මම කිව යුතුයි මේ රජය මූල්‍ය කළමනාකරණය පැත්තෙන්, අපි විශාල ජයග‍්‍රහණයක් ළඟාකර ගත්තා. ඒක තමයි අපේ ප‍්‍රාථමික ගිණුම ධන කර ගැනීම අපේ මේ රජයේ මූල්‍ය කළමණාකරණය ලබාගත් විශාල ජයග‍්‍රහණයක්. මේකෙන් මොකද්ද කියන්නේ ආණ්ඩුවකට එදිනෙදා වියදම් ආණ්ඩුවේ ආදායම්වලින් පියවාගන්න පුළුවන් කියන එක. මේක ධනයි කියන එකේ අදහස ණය බර ගෙවන්නත් කිසියම් ආකාරයක හැකියාවක් ලැබෙනවයි කියන එක. 1954න් පසුව මේ වගේ තත්වයක් මෙරට ආර්ථිකයේ ඇතිවුණේ මුල්වතාවට 2017-18 කියන එක අපි කිව යුතුයි.

ඒ වගේම අපේ බදු පිළිබඳ කාරණා ගත්තහම, අපි කවුරුත් දන්නවා මේ රටේ අපේ ආණ්ඩුවේ වියදම් ගත්තහම එක්දහස් නවසිය අනූ ගනන්වල රජයේ වියදම් දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 30 වගේ විශාල පැත්තක තිබුණේ. නමුත් දැන් එය 2010න් පසුව සියයට 20ට අඩුවෙලා තිබෙනවා. ඒ වගේම 1978 දී ආණ්ඩුවේ බදු ආදායම සියයට 24ක් වගේ ඉහළ තත්වයක තිබුණේ. මෙය 2014 වන විට සියයට 10ට වැටුනා. අනුක‍්‍රමයෙන් අපි එය වැඩිකරගෙන ගිහින් අපේ ඉලක්කය 2020 වන විට අඩුම තරමින් සියයට 15ක බදු ආදායමක් ලඟාකර ගැනීම. නැත්නම් මේ රට මොකද වෙන්නේ, මේ බදු ගෙවන්නේ ජනතාව බව ඇත්ත, අපි කළින් පොරොන්දු උනා සියයට 60ක් වක‍්‍රබදු, සියයට 40ක් ඍජු බදු කියලා. නමුත් අපට තවම එය අත්පත් කර ගන්න බැරි උනා. මෙවරත් මේ බදු සංයුතිය දිහා බැලූවහම සියයට 80ක් වක‍්‍රබදු, සියයට 20ක් ඍජු බදු. මෙයින් අදහස් වෙන්නේ මොකද්ද ජනතාව පොදුවේ සියයට 80ක් බදු ගෙවන බවයි. කොහොම උනත් කමක් නැහැ අද අපි බදු ආදායම වැඩිකරගෙන තිබෙනවා. හැබැයි මෙය ක‍්‍රමයෙන් ඍජු බදු ප‍්‍රමාණය වැඩිවන පැත්තට, සෑම ජන කොට්ඨාශයකටම තමන්ගේ ආර්ථික තත්වය මත බදු ගෙවීම වෙනුවට ඇති හැකි අය වැඩියෙන් බදු ගෙවන ක‍්‍රමවේදයක් බවට පරිවර්ථනය කර ගත යුතුයි. කෙසේ උනත් මේ බදු වැඩි කර ගැනීම ගැන චෝදනා කලාට, බදු වැඩිකරගෙන මේ ණය නොගෙව්වනං මොකද වෙන්නේ. රට බංකොලොත් උනා නම් මොකද වෙන්නේ. ආර්ජන්ටිනාවේ උනා වගේ, ග‍්‍රීසියේ, අයර්ලන්තයේ, අයිසලන්තයේ උනා වගේ රට බංකොලොත් උනා නම් මොකද වෙන්නේ. පඩි ගෙවා ගන්න බැරිව, විශ‍්‍රාම වැටුප් ගෙවා ගන්න බැරිව මේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කාබාසිනියා වෙන්න තිබුණා. ඒ නිසා මේ ඉදිරි අවුරුදු දෙක තුන කාලය ඇතුළත කවුරු බලයට ආවත් ඕවා ඔක්කොම සුරංගනා කතා.

විශේෂයෙන්ම එතැනදී ණය ගැති භාවය, පොලී අනුපාතය, දළ ජාතික වර්ධනය, ඒ වගේම ප‍්‍රාථමික ගිණුම්. මෙන්න මේ කියන කාරණා යම් තරමකට පාලනය කර ගත්තේ නැත්නම් ඉවක් බවක් නැතිව අපි පිටරටින් භාණ්ඩ ගන්න ගියොත් අපේ විනිමය අනුපාතයට එය බලපානවා. හුඟක් දෙනෙක් කියනවා භාණ්ඩාගරයට ප‍්‍රශ්නයක් කියලා ණය ප‍්‍රමාණය ඉහල යනවා විනිමය අනුපාතය පහල යනවා කියලා. ඔව් භාණ්ඩාගාරයේ ණය බර වැඩිවෙනවා. හැබැයි භාණ්ඩාගාරයට එය ප‍්‍රශ්නයක් නෑ. භාණ්ඩාගාරයට ප‍්‍රශ්නයක් නැත්තේ ඇයි. ආනයන, අනෙකුත් ක්‍ෂෙත‍්‍රවලින් එන බදුවලින් ලැබෙන ආදායම ලැබෙන ණය ගෙවන ප‍්‍රමාණයට වඩා වැඩියි. මූලාසනාරූඩ මන්ත‍්‍රීතුමනි, අපේ හිටපු ආර්ථික විශේෂඥයෙක් වන විජේවර්ධන මහතා පෙන්නලා දීලා තියෙනවා. මේ ඩොලරය රුපියලකින් පහල යන කොට බිලියනයක් නම් ණය බර නිසා ඇතිවන බර බිලියන 1.5 සිට 2.0 දක්වා ආදායමක් භාණ්ඩාගාරයට වැඩිපුර එකතු වෙනවා. ඒ කියන්නේ භාණ්ඩාගරයට එය ප‍්‍රශ්නයක් නෑ. නමුත් රටේ ණය බර සඳහා එම ප‍්‍රශ්නය තියෙනවා.

ඉතිං මේ ආර්ථිකය සමස්ථයක් හැටයට දකින්නේ නැතිව මේ එක කෑල්ලක් විතරක් පෙන්නලා ඒකෙන්සතුටු වෙන එක තමයි මේ අය හිතන්නේ. නමුත් අපි කියන්නේ නෑ විනිමය අනුපාතය අඩුවෙලා අඩුවෙලා ගිහිල්ලා ඩොලරය රු. 200 වීම හරියි කියලා. නමුත් කිසියම් දුරකට මේ ආනයන පාලනය කර ගන්න අපනයනවලට කිසියම් ශක්තියත් දෙන්න. මේක බලෙන් රඳවා ගන්න අපි ඉතාමත් අමාරුවෙන් ණයට අරගෙන උපයා ගත් විදේශ විනිමය සංචිත පාවිච්චි කරනවා වෙනුවට මේක පාලනය කර ගැනීම අත්‍යාවශ්‍යයි. දැන් මේ පහුගිය කාලයේ අපට පේනවා ඒ පාලනය. හුඟ දෙනෙක් හිතන් හිටියා මේ දෙසැම්බර්යේ, ජනවාරිය පෙබරවාරිය වන විට ඩොලරය රු. 200 වෙයි කියලා. එහෙම නැතුව එය පාලනය වෙලා තියෙනවා. මම හිතනවා මේ ඇවිත් තියෙන අයවැය යෝජනාවලින් එය තවදුරටත් පානයන කරගන්න පුලූවන් වෙයි කියලා. පොලී අනුපාතවල තත්ත්වෙත් ඒකයි. පොලී අනුපාත අපටත් පුලූවන් මහබැංකුව යොදවලා ඒක ආණ්ඩුවක් පාලනය කරන එකක් නෙවෙයි. නමුත් මහබැංකුව පාවිච්චි කරලා මහබැංකුව හරහා පොලී අනුපාතය නමුත් ඒවා බොහෝම කෙටි කාලීන දේවල්. එහෙම අවුරුද්දක් දෙකක් තුනක් ගෙනියයි. නමුත් දිගුකාලීනව ගෙනියන්න බෑ. ඒක රබර් බෝල ජලයේ ගිල්වගෙන ඉන්නවා වගේ වැඩක්. අතෑරපු හැටිය ආපහු එනවා. මොකද වෙළෙඳපොල බලවේගය විසින් අවශ්‍ය පොලී අනුපාතය සකස් කරන නිසා. පොලී අනුපාත වැඩි වීම නිසා දුෂ්කරතාවලට අපේ රටේ ජනතාව පත්වෙලා තියෙනවා ඇත්ත. නමුත් ඒක පාලනය කර ගන්න නම් අපේ නිෂ්පාදනය, අපේ කාර්යක්‍ෂමතාවය විශේෂයෙන්ම වෙළෙඳ කාර්යක්‍ෂමතාවය වැඩි කර ගත යුතු වෙනවා. ඒ වගේම දළ ජාතික වර්ධනය ඇත්තටම සියයට 3.5ක වගේ තත්ත්වෙකට ඇද වැටිලා තියෙනවා. නමුත් මේක සම්ප‍්‍රදායික ක‍්‍රමයටම මෙය වර්ධනය කර ගන්නට බෑ. ඒක තමයි මගේ තර්කය. අපි අලුත් උපාය මාර්ගයක් වර්ධනය සඳහා වුණු උපාය මාර්ගයක් සකස් කර ගත යුතුයි. ඒ උපාය මාර්ගය තමයි නවොත්පාදන උපාය මාර්ගය. අපි 77 ඉඳන් ආර්ථිකය විවෘත කරලා අපි අයෝජකයින්ට එන්න කිව්වා. ලාභ ශ‍්‍රමය, ඒ වගේම ලාභ බල ශක්තිය, ලාභ පරිසර නීති, ඒ වගේම ලාභ ශ‍්‍රම නීති තිබුණා. අපට විවෘත වුණා බටහිර ලෝකයේ වෙළෙඳ පොලවල්, අද මේ එකක්කවත් නෑ. ලාභ ශ‍්‍රමය අද ලංකාවේ නෑ. අපට වඩා අද ලාභ ශ‍්‍රමය බංගලිදේශයේ, මියන්මාරයේ, ලා ඕසයේ, කාම්බෝජියාවේ, වියට්නාමයේ තියෙනවා. ඒ වගේම ස්ථාවර පාලනයන් එහෙ තියෙනවා. ඒ නිසා මේ ලාභ ශ‍්‍රමයට, ලාභ බල ශක්තියට, ඒ වගේම සැහැල්ලූ පරිසර නීතිවලට, සැහැල්ලූ ශ‍්‍රම නීතිවලට ස්ථාවරත්වය කියන මේ කාරණාවලට අද ආයෝජකයෝ ගලා එන්නේ නෑ. අපි මොකක්ද කරන්න ඕනෙ. අපි කරන්න ඕනෙ අපේ තියෙන මේ මිලියන 21ක් වුණු අපේ මොල, අපේ උගත් ජනයාගේ උගත් හැකියාව නිසියාකාරව පාවිච්චි කරන එකයි. අපි මේ රටේ තාමත් නොකරලා තියෙන දේ තමයි එය.

අධ්‍යාපනයටයි, සෞඛ්‍යයටයි වියදම් කරලා නිරෝගී උගත් ජනතාවක් හැදුවට ඒ නිරෝගී උගත් ජනතාවගේ සේවය විදේශවලට ගමන්කරන නිසා අපට ඒ සේවය නොලැබී යාම. ඒ නිසා ඒ සේවය මේ රටට ගෙනයෑමට නම්, මේ රට තුළ ඒක ගෙනියන්න නම් හතරවැනි කාර්මික විප්ලවයට අනුකූලවන ක‍්‍රියාදාමයක් අනුගමනය කරන්න ඕනෙ. ඒක තමයි අපි අර හෝමාගම ප‍්‍රදේශයේ මේ රජය ඉදිකලේ නවොත්පාදන පුරවරය. තාක්‍ෂණ නගරය, විශේෂයෙන්ම නැනෝ තාක්‍ෂණය, එහෙම නැත්නම් නැංදි තාක්‍ෂණය, ජීව තාක්‍ෂණය, ජාන තාක්‍ෂණය, රොබෝ තාක්‍ෂණය ඒ වගේම ආටිෆිෂල් ඉන්ටලිජන්ස් එහෙම නැත්නම් අනෙකුත් හරිත තාක්‍ෂණ උපක‍්‍රම,චන්‍ද්‍රිකා තාක්‍ෂණය මේ වගේ තාක්‍ෂණයන්ගෙන් යුතු ක‍්‍රියාවලියක්. ඒ වගේම අපේ විෂයය ධාරාවේ විශාල වෙනසක් අද ඇතිවෙලා තියෙනවා. එදා සියයට 70ක් හිටියේ කලා වාණිජ විෂයය ධාරාවේ. අද ඒක සියයට 55ට අඩුවෙලා තියෙනවා. මේක සියයට 30 දක්වා ගෙනල්ලා අපිට පුලූවන්නම් තාක්‍ෂණ විෂයය ධාරාව සියයට 70ට ගේන්න ඒ තාක්‍ෂණ මධ්‍යස්ථාන හරහා ඒ අයට අවශ්‍ය නවොත්පාදන ශක්තිය ලබා දෙන්න මේ රටෙනුත් නවෝතපාදනය හරහා බලගතු කර්මාන්ත ක්ෂේත්‍රයක් ඇතිකරන්න පුලූවන්. අද අපි සතුටින් කියනවා අද මේ රටේ නවෝත්පාදන සේවා මගින් රබර්, පොල් ආදාමයට වඩා වැඩි ආදායමක් තේ ආදායමට සමාන ආදායමක් අද උපයන බව. මේ රට අනාගතය කරා ගෙනියන්න නම් අප මේ රට යොමු කළ යුත්තේ ඒ දෙසටයි. ඒ නිසා මේ අයවැයෙන් නොකෙරුනත් මම හිතනවා ඉදිරි කාලයේදී අපේ අයවැයෙන් පාරවල් හදන්න, ඒ වගේම නිවාස හදන්න, නගර නිර්මාණයට, සෞඛ්‍යයට, අධ්‍යාපනය යනව වගේම නවොත්පාදනය දිරි දීම සඳහා වුනු විශාල ආයෝජනයක් සිදුවෙනවා නම් ආර්ථිකය ඉතා ඉක්මණින්ම වර්ධනය කරගන්න පුලුවන් ක‍්‍රමය, ආර්ථිකයට වැඩි ශක්තියක් ලැබෙන ආයෝජනය නවෝත්පාදනය බව මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕනෙ.

ඒ වගේම විශේෂයෙන්ම අපි මූල්‍ය ක්‍ෂෙත්‍රයේ ලබාගත් ඒ ජයග‍්‍රහණ, ප‍්‍රාථමික ශේෂය ධන කරගෙන, ආදායම ආසන්නයෙන් දෙගුණ කරගෙන දල ජාතික නිෂ්පාදයට සාපේක්‍ෂව සියයට 15 සීමාව කරා ගෙන ගොස්, ඒ වගේම රට බංකොලොත් නොකර, රට බංකොලොත් කරලා, බංකොලොත් කරලා වට්ටලා රට ගොඩනගාගන්න අපහසු තත්ත්වයට පත්කරගන්නේ නැතිව මේ ආකාරයට ගමන් කිරීම ගැන ඇත්තටම ඒ මූල්‍ය පාලනය ගැන සතුටු විය හැකියි. නමුත් ආර්ථිකයේ තවත් ක්‍ෂෙත‍්‍රවල අපට සතුටු විය නොහැකි පැති තියෙනවා. විශේෂයෙන්ම වර්ධනය පැත්තෙන් ඒ වගේම මම කියපු පොලී අනුපාත පැත්තෙන් ඒ අනෙකුත් කාරණා පැත්තෙන් මෙඅයවැයෙන් යම්කිසි ආකාරයක ජවයක් විශේෂයෙන්ම අපේ ව්‍යපාරික ක්‍ෂෙත‍්‍රවල පිරිස් ඉතාමත්ම අපහසුතාවයෙන් ඉන්නවා ඒ අයට මේ එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා එක හරහා ජවයක් ජීවයක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද පසුගිය වසරේ තබා ඇති වාර්තා අනුව බිලියන් 65ක් මිලියන 65,000ක් මේ එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා එක හරහා ලැබිලා තියෙනවා.

විශේෂයෙන්ම මම සතුටු වෙනවා අපේ ඇමතිතුමා ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ පොදු ප‍්‍රවාහනය නැංවීම සඳහා බස්රථවලට, විශේෂයෙන්ම අර්ධ සුඛෝපභෝගී අපේ ජනතාවට යන්න පුලූවන් ලෝෆ් ලෝ බස්වලට ඒ ලබා දීපු සහනය එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා එක හරහා අපි සතුටු වෙනවා. ඒ මගින් මේ රටේ පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කර ගැනීමට හැකිවනවා පමණක් නෙවෙයි, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත 45,000 ක් පමණ පසුගිය වසරේ ඇතිවුණා. බලාපොරොත්තු වෙනවා මේ වසරේත් තවත් එවැනි 45,000 ක් 50,000 ක් සුලූ හා මධ්‍යපරිමාණ කර්මාන්ත ඇතිකරගන්න. ඒ වගේම පවතින කර්මාන්තවලට මේ හරහා ජවයක් ලබාදෙන්න මේ මුදල් ප‍්‍රාග්ධන වෙළෙඳ පොල හරහා වෙළෙඳපොලට ආවට පස්සේ ජනතාව අතර මුදල් සංසරණය වැඩිවෙලා ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව වැඩිවෙලා එමගින් ආර්ථිකයට අලූත් ශක්තියක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ග‍්‍රාමීය මට්ටමේ සංවර්ධනය, ඒ වගේම, පුළුල් සමාජ සංවර්ධනය මෙහිදී අප මතක තියාගන්න ඕනෙ මේ රටේ භෞතික සැලැස්ම ඉතාම වැදගත් දෙයක්. අපි අද ඒ භෞතික සැළැස්ම අවසන් කරලා තියෙනවා 2050 වෙනකම්. ඒ අලූත් භෞතකි සැළැස්මට අනුකූලව අපි නිවැරදිව ඉදිරි කාලයේදී අපේ වරායවල්වලට, අපේ ගුවන්තොටුවලවල්වලට, ඒ වගේම අපේ අධිවේගී මාර්ගවලට, ඒ වගේම දුම්රිය මාවත්වලට, නගර නිර්මාණයට අපි නිවැරදිව ඉදිරි කාලයේදී ආයෝජනය කළොත් පහසුවෙන්ම මෙම 6%, 7% ආර්ථක වර්ධනය ලඟා කරගැනීමේ හැකියාව ලැබෙනවා. අපි මධ්‍ය ආදායම් පසුපෙල රටක් බවට පත්වුණේ 1998. අවුරුදු 20ක් අපි ඒ මධ්‍ය ආදායම් පසුපෙල ආර්ථිකයේ රැඳී ඉන්නවා. කවදද අපි අධි ආදායම් රටක් බවට පත්වෙන්නේ. මේ යන ක‍්‍රමයට ගියොත් නම් 2050 වනකනුත් එය අපිට ලඟාකරගන්න බෑ. නමුත් අපේ අවට කලාපයේ හැම රටක්ම ඒ තත්ත්වෙය ගිහින් තියෙනවා. සිංගප්පූරුව, තායිවානය, ඒ වගේම කොරියාව 1690 දී අපිට සමාන තත්ත්වයෙන් තිබුණු රටවල්. නමුත් අද අපි වගේ දහ පහලොස් ගුණයක ආදායම් තියෙන රටවල් බවට පත්වෙලා තියෙනවා. කොතැනද අපිට වැරදුනේ. අන්න ඒ වැරදුනු තැන් අපි හඳුනාගෙන විශේෂයෙන්ම සැළසුමක් නැති ආකාරයට බාල ජනප‍්‍රිය දේශපාලනයට ආයෝජනය කිරීම නිසා තමයි අපිට මේ වැරැද්ද සිද්ධ වුණේ. ඒ නිසා විද්‍යාත්මක ක‍්‍රමවේදයකට අනුව විද්‍යාත්මක ආණ්ඩුකරණයකට අනුව අපගේ මේ තියෙන සීමාසහිත ප‍්‍රාග්ධන ආයෝජනය පවා, අපි ආයෝජනය කරනවා නම් අනිවාර්යයෙන්ම අපිට ඒ රටවල් අත්පත්කර ගත් තත්ත්වය අත්පත් කර ගන්න පුලුවන්. අපි කරන්නේ බාල ජනකාන්තවාදය. ඒ බාල ජනකාන්තවාදයේ ස්වරූපය නිසා තමයි රුපියලක් සංවර්ධනයට වියදම් කරන කොට රුපියල් 3ක් ණය ගෙවන රට ඇති කලේ. ඒක නිසා මේ බාල ජනකාන්තවාදය වෙනුවට විද්‍යානුකූල සැළසුමකට අනුව අපි ඒ ඒ ක්‍ෂෙත‍්‍රවලට ආයෝජනය කරනවා නම් මම හිතනවා අපිට බලගතු ප‍්‍රතිලාභ ලැබෙන්න නියමිතයි.

විශේෂයෙන්ම අපේ රාජ්‍ය අංශය තෘප්තියෙන් තියා ගන්න ඒ අංශයට වැටුප් වැඩිකරනවා වගේම ඒ රාජ්‍ය අංශයේ කාර්යක්‍ෂමතාවය වැඩිකර ගැනීම සඳහා කටයුතු කළයුතු වෙනවා. විශේෂයෙන්ම අපේ වෘත්තීයවේදීන්, ඒ ගැනත් අපි මතක් කළ යුතු වෙනවා. අද වෘත්තීය සේවාවන් යම් අසහනයකට පත්වෙලා තිබෙනවා මොකද රාජ්‍ය අංශයේ තිබෙන මේ වැටුප් ව්‍යූහයන් නිසා. අද ඉංජිනේරු සේවාව ගත්තත්, ඒ වගේම රජයේ වෛද්‍ය සේවාව ගත්තත්, ගණකාධිකාරී සේවාව, සැලසුම් සේවාව,පාරිපාලන සේවාව මේ හැම ක්‍ෂෙත‍්‍රයකම අද අසහනයක් තිබෙනවා. මොකද තරඟකාරීව අනෙක් පැත්තෙන් පෞද්ගලික අංශය, අනෙක් පැත්තෙන් විදේශ රැකියා ක්‍ෂෙත‍්‍රය විවෘත වෙලා තිබෙන නිසා. මේ නිසා අද රජයේ සේවයේ විශාල පිරිසක් උපාධිධාරීන් උනාට, රජයේ සේවයට පඩි වැඩි කළාට ඒ ක්‍ෂෙත‍්‍රවල වෘත්තීය පදනමේ ඉන්න පිරිස්වලට තත්වය ලැබිලා නැහැ. ඒ නිසා මම අද ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම මුදල් ඇමතිතුමාගෙන් ඒ වගේම ජනාධිපතිතුමා මේකට කොමිසමක් පත් කර තිබෙනවා. මේ ගැන අපේ වෘත්තීයවේදීන්ට යුක්තිය ඉටු විය යුතුයි. ඔවුනට ඔවුන්ගේ කුසලතාවයට අනුව, නිපුණතාවයට අනුව. හැකියාවට අනුව වැටුප් ලැබෙන රාජ්‍ය සේවයක් සහතික විය යුතුයි. නැත්නම් ඒ අය අසහනයට පත් උනොත් ඒ අය සතුටෙන් නෙමෙයි නම් ඉන්නේ, ඒ අයට මේ රට ඉන්න හිතෙන තැනක් නොවුනොත් එහෙම මේ රට තවදුරටත් පහළට වැටෙනවා.