ආහාර සුරක්ෂිතතා නව රෙගුලාසි 2020 ජනවාරි 01 වැනිදා සිට

 ඡායාරූපය:

ආහාර සුරක්ෂිතතා නව රෙගුලාසි 2020 ජනවාරි 01 වැනිදා සිට

 

ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ නව නිර්ණායක සහ රෙගුලාසි 2020 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.  ආහාර පනත යටතේ නව රෙගුලාසි හඳුන්වාදීමට නියමිතව තිබේ. අද (27) ලෝක ආහාර සුරක්ෂිතතා දින ජාතික උත්සවය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය.  එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

 

“එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සමුළුව මගින් 2018 වසරේ දෙසැම්බර් මාසයේදී ප්‍රථම වරට ලෝක ආහාර සුරක්ෂිතතා දිනය ප්‍රකාශයට පත් කළා. සෑම වසරකම ජුනි මස 07 වැනිදා එය පැවැත්වෙනවා. ආහාර සුරක්ෂිතතාව - සැම දෙනාගේම යුතුකම’ යන්න මෙවර තේමාවයි. ගුණාත්මක ආහාර වේලක් තිරසර ජීවිතයක් සහ යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වෙනවා. අනාරක්ෂිත හෝ දූෂිත ආහාර සෞඛ්‍යයට දැඩි හානිකර අතර රෝග වර්ධනය කිරීමටද හේතු වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ පිළිබඳව විවිධ ගණනය කිරීම් සිදුකර තිබෙනවා. දූෂිත ආහාර හේතුවෙන් හට ගන්නා විවිධ රෝගාබාධවලට වාර්ෂිකව ගෝලීය වශයෙන් පුද්ගලයින් මිලියන ගණනක් ගොදුරු වෙනවා. වයස අවුරුදු 05ට අඩු දරුවන් එලෙස විවිධ රෝගාබාධවලට ගොදුරුවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ආහාර ආශ්‍රිත රෝගවලින් වසරකදී මිය යන සංඛ්‍යාව එක්ලක්ෂ විසිපන්දහස ඉක්මවනවා.

 

ශ්‍රී ලකාව දෙස බැලීමේදී ආහාර සුරක්ෂිතතාවය ප්‍රබල අභියෝගයක්. ගොවිපොළ මට්ටමේ සිට ආහාර සුරක්ෂිතතාවය ක්‍රියාත්මක කළ යුතුයි. මෙහිදී කෘෂි රසායන, කෘමිනාශක, විවිධ හෝමෝන අවභාවිතය කිරීම සෞඛ්‍යයට හානිකර වෙනවා. ශ්‍රී ලංකාව ශක්තිමත් කාෂිකාර්මික පදනමක් සහිත රටක්. එම නිසා යහපත් කාෂිකාර්මික හා සත්ත්ව පාලන කර්මාන්ත පවත්වාගෙන යා යුතුයි.  රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම අවම කළ යුතුයි. ඇතැම් ප්‍රදේශවල දූෂිත ජලය හේතුවෙන් හඳුනා නොගත් වකුගඩු රෝගයට ජනතාව ගොදුරු වී තිබෙනවා. ගොවිපොළේ සිට ආහාර පිඟාන දක්වා වූ සංකීර්ණ ක්‍රියාවලිය තුළ සුරක්ෂිතතාවය පිළිබඳ ගැටලු පවතින අතර ආහාර සුරක්ෂිතතාවය සඳහා විවිධ නීතිරීති හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ආහාර පනත ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් බැඳී සිටින අතර ඔවුන් සුරක්ෂිත ආහාර වේලක් පිළිබඳව ජනතාව දැනුවත් කරනවා. ශ්‍රී ලංකාවට නව රෙගුලාසි හඳුන්වා දීම ආහාර සුරක්ෂිතතාවයේ සංධිස්ථානයක් වෙනවා. ආහාර සැපයුම් අංශ ඇතැම් ප්‍රමිතීන් උල්ලංඝනය කරමින් ආහාර සැපයීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. එවැනි ප්‍රමිතියෙන් තොර ආහාර සැපයුම්කරුවන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කරන ලෙස මම ජනතාවගෙන් සහ මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා.