පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩපිළිවෙළට කැබිනට් අනුමැතිය

 ඡායාරූපය:

පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩපිළිවෙළට කැබිනට් අනුමැතිය

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළට විප්ලවීය ප්‍රවේශයක් ලබාදෙමින්, තවත් ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ අධ්‍යාපන අමාත්‍යාංශ වැඩපිළිවෙළට අද (25) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. මෙය මෑතකාලීන අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශිෂ්ට ජයග්‍රහණයක් බවත් එය සිසු දරුදැරියන්, ගුරුභවතුන්, දෙමව්පියන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත සියලු පාර්ශවයන්ට අතිශයින් සතුටට පත්විය හැකි මොහොතක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ලෙස දෙවැනිවර විභාගයට පෙනී සිට සමත් වූ සහ ජාතික පාසල්වලට අනුයුක්තව ගුරු සහායක පත්වීම් ලබා සේවයේ යෙදී සිට උපාධි සුදුසුකම හෝ ගුරු පුහුණුව සම්පූර්ණ කිරීම මත ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගත් ගුරුවරුන් වෙනුවෙන් අද (25) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති පත්වීම් ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි. මෙහිදී නවක ගුරුවරුන් 44 දෙනෙකුට ගුරුපත්වීම් ප්‍රදානය කෙරුණි.

 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ සියලු ජාතික පාසල්වල උසස් පෙළ හදාරන සිසුන්ටත් උසස් පෙළ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ටත් ටැබ් පරිගණක ලක්ෂයක් පමණ ලබාදීමට පියවර ගෙන ඇති බවයි. ඉතා ඉක්මනින් පාසල් පද්ධතිය තුළට මෙම ටැබ් පරිගණක බෙදාහැරීමට සහ ඊට අදාළ පුහුණු කිරීම් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.