කොළඹ,ගම්පහ ඇතුළු දිවයිනේ පළාත් රැසකට වැසි

 ඡායාරූපය:

කොළඹ,ගම්පහ ඇතුළු දිවයිනේ පළාත් රැසකට වැසි

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවත් වයඹ පළාතේ සහ කොළඹ, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

බදුල්ල, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල සවස 2.00න් පමණ පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. උතුරු - මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 දක්වා තරමක් තද සුළං ඇති විය හැක.  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

 

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ කන්කසන්තුරයේ සිට මුලතිවු හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් (40-50) පමණ වේ. සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් (30-40) පමණ වේ.  මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැකි අතර මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වේ. මීගමුව සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකි අතර මෙම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.