රත්ගම ව්‍යාපාරිකයන් පැහැර ගැනීම:

රත්ගම ව්‍යාපාරිකයන් පැහැර ගැනීම:

පොලිස් ලොක්කන් දෙදෙනකුගෙන් CIDය ප්‍රකාශ ගනී

රත්ගම පුද්ගලයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධ නඩුවේ සැකකරුවන් 17 දෙනා තවදුරටත් ජූලි 8 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (24) නියෝග කළේය.

මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 15 දෙනා ඇතුළු සැකකරුවන් 17 දෙනෙකි. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දික්වැල්ල ප්‍රදේශයේ ජලාශයක තිබී සොයාගත් සැකකරුවන්ගේ ජංගම දුරකථන පිළිබඳ රජයේ රසපරීක්ෂකවරයාගේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළේය. මීට පෙර අධිකරණය විසින් ලබාදෙන ලද නියෝග අනුව කොමර්ෂල් බැංකුවේ ගාල්ල මහා වීදිය ශාඛාවේ සහ කොටුව ශාඛාවේ කළමනාකරුවන්ගේ ප්‍රකාශද වලස්මුල්ල අඩවි වන නිලධාරියාගේ ප්‍රකාශයක්ද ලබාගෙන ඇති බවත් ඊට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජයගුණවර්ධන හා ගාල්ල පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාර හක්මන යන මහත්වරුන්ගේ ප්‍රකාශ ලබාගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේය. මේ අතර සැකකරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් මහාධිකරණයේ ඇප ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබෙන බව සැකරුවන්ගේ නීතිඥවරු කියා සිටියහ.

රත්ගම බූස්ස රත්න උදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ අසේල මංජුල කුමාර සහ කොස්ම රසික චින්තක නමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23 වැනි දින පැහැරගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

[ෆර්හාන් නිසාම්දින්]

මාතෘකා