පොලිස්පති අනිවාර්ය නිවාඩු යැවීමට අදාළ පෙත්සම සලකා බැලීම ජූලි 31

පොලිස්පති අනිවාර්ය නිවාඩු යැවීමට අදාළ පෙත්සම සලකා බැලීම ජූලි 31

ජනාධිපතිවරයා විසින් තමා අනිවාර්ය නිවාඩු යැවීමට ගනු ලැබූ තීරණය ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි මස 31 වැනිදා සලකා බැලීමට ඊයේ (24) ශ්‍රේෂ්ඨාධිකරණය නියම ක‍ළේය.

ප්‍රසන්න ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේ මෙම තීන්දුව ලබා දුන්නේය. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය අධිකරණයට දන්වා සිටියේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ යන පාර්ශ්ව විසින් විරෝධය දක්වමින් අධිකරණය හමුවේ දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි. එම දිවුරුම් පෙත්සම්වල පිටපත් තමන් වෙත ලැබී නොමැති බව පෙත්සම්කාර පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ විරාන් කොරයා මහතා අධිකරණයට දන්වා සිටියේය. එමෙන්ම අදාළ ලේඛන විනිසුරුවරුන්ගේ ගොනුවලටද මෙතෙක් ඇතුළත් වී නොමැති බව මෙහිදී විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම ජුලි මස 31 වැනිදා සිදු කරන ලෙස නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරුවරු එදිනට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දෙපාර්ශ්වය නීතිඥවරුන්ට දන්වා සිටියේය. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතාද ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතාද අධිකරණය හමුවේ පෙනී සිටියහ. තම විනය බලධාරියා ජනාධිපතිවරයා නොවන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය නිලධාරීන් ඉවත් කිරීමට අදාළ පනත් විධිවිධාන ප්‍රකාරව තමන් අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයාට කිසිදු බලයක් නොමැති බවත් පූජිත් ජයසුන්දර මහතා මෙහිදී චෝදනා කර සිටියේය. මෙම ක්‍රියාව තුළින් ජනාධිපතිවරයා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවත් ඒ තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන්ද ඉල්ලා සිටි පූජිත් ජයසුන්දර මහතා මෙම පෙත්සම විභාග කොට අවසන් කර තීන්දුවක් ලබා දෙන තෙක් තමන් අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා ගත් තීරණය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටියේය.

මාතෘකා