පූජිත් ජයසුන්දර මහතාගේ පෙත්සම සලකා බැලීම ජූලි 31 වැනිදාට කල් යයි

 ඡායාරූපය:

පූජිත් ජයසුන්දර මහතාගේ පෙත්සම සලකා බැලීම ජූලි 31 වැනිදාට කල් යයි

තමන් අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා ගත් තීරණය අහෝසි කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මස 31 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝග කළේය.

 

මෙම පෙත්සම සම්බන්ධයෙන් නීතිමය කරුණු පුළුල් ලෙස සහ තර්කානුකූලව සලකා බැලිය යුතු බැවින් එය ලබන මස 31 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. පෙත්සමට එරෙහිව ජනාධිපති ලේකම්වරයා දිවුරුම් ප්‍රකාශයක් මඟින් විරෝධතා ගොනුකළ බව ඔහු වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියාය. සිය පෙත්සම තුළින් පොලිස්පතිවරයා පවසා සිටින්නේ 2018 වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම සඳහා තමන්ට ආරාධනා ලැබී නොමැති බවයි. තමන් අනිවාර්ය නිවාඩු යැවීමේ තීරණය හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සමානව සැලකීමේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවද පොලිස්පතිවරයා පවසා සිටියි.