ඇලෝෂියස්ට රට යන්න දුන් අවසරය අවලංගු කරන්නැයි මෝසමක්

 ඡායාරූපය:

ඇලෝෂියස්ට රට යන්න දුන් අවසරය අවලංගු කරන්නැයි මෝසමක්

 

මහබැංකු බැඳුම්කර වංචා සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝසප් ඇලෝෂියස් මහතාට විදේශ ගතවීමට අධිකරණය මඟින් දී ඇති අවසරය අවලංගු කරන ලෙස නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෝසම සම්බන්ධයෙන් හෙට (20) කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට අද (19) නියෝග කළේය.

 

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන මෙම මෝසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවා තිබිණ. නීතිපතිවරයා එම මෝසම තුළින් සඳහන් කර තිබෙන්නේ මහබැංකු බැඳුම්කර සිද්ධියේ සැකකරු ලෙස නම් කර සිටින ජෙෆ්රි ජෝසප් ඇලෝෂියස් නැමැත්තාට ලබන මස පළමුවැනිදා සිට එකොළොස් වැනිදා දක්වා කාලය තුළ දියණියකගේ විවාහ උත්සවයකට සහභාගි වීම සඳහා විදේශගත වීමට අධිකරණය මඟින් අවසර ලබා දී ඇති බවයි.

 

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ස්ථිර මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා විසින් තීරණයක් ගෙන ඇති බැවින් එහි සැකකරු ලෙස නම් කර සිටින මෙම ජෙෆ්රි ජෝසප් ඇලෝෂියස් තැනැත්තාට විදේශගත වීම සඳහා දී ඇති අවසරය අවලංගු කරන ලෙසද නීතිපතිවරයා සිය මෝසමෙන් ඉල්ලා තිබේ. එම මෝසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරි කැඳවූ අතර ඒ පිළිබඳ කරුණු දැක්වීම හෙට දින සිදුකරන ලෙස මහෙස්ත්‍රාත්වරිය විසින් නීතිපතිවරයාට සහ විත්තියේ නීතිඥවරුන්ට නියෝග කර තිබේ.