සහරාන්ගේ නායකයා ගේන්න : රහස් පොලිසිය සෞදියට

සහරාන්ගේ නායකයා ගේන්න : රහස් පොලිසිය සෞදියට

සෞදි පොලිස් අත්අඩංගුවේ සිටින සහරාන්ගේ අන්තවාදී කල්ලියේ සන්නද්ධ අංශ නායකයා මෙරටට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් සෞදිය බලා පෙරේදා (11) පිටත්ව ගොස් තිබේ.

මොහොමඩ් මිල්හාන් නොහොත් අබු සීලන් නැමැති එම සන්නද්ධ අංශ නායකයා මරාගෙන මැරෙන ප්‍රහාරයට සූදානම්ව සිටි අයකු බව වාර්තා වේ. 2018 වසරේ නොවැම්බර් 30 වෙනිදා මඩකලපුව වව්නතිව්හි පොලිස් මුරපොළක සිටි පොලිස් කොස්තාපල්වරු දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම මොහුගේ ක්‍රියාවක් බව පොලිසිය කියයි.

වනාතවිල්ලුවේ පිහිටි සහරාන්ගේ කල්ලියේ පුහුණු කඳවුර සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහය දුන් මොහොමඩ් නස්ලිම් නමැති මාවනැල්ලේ සමාජ ක්‍රියාකාරිකයකුට ඉකුත් මාර්තු 09 වෙනිදා වෙඩි තබා ඇත්තේද මෙම අන්තවාදියා බව විමර්ශනවලින් හෙළිවී තිබේ. මොහොමඩ් නස්ලිම් හිටපු ඇමැති කබීර් හෂිම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සහරාන් ඇතුළු කණ්ඩායම විසින් එල්ල කරන විට මිල්හාන් මක්කම වන්දනාවේ යෙදෙමින් සිට ඇත. විමර්ශනවලින් හෙළි වී ඇති ආකාරයට දෙවැනි ප්‍රහාරයන්වලට සම්බන්ධ වීමට ඔහු සූදානම්ව හිඳ ඇත. ඔහු මක්කම සිට මෙරටට පැමිණීමට නියමිතව සිටියේ අප්‍රේල් 30 වෙනිදාය. ඒ සඳහා සූදානමින් ඔහු සෞදි ගුවන්තොටුපොලට පැමිණියත් මෙරටට පැමිණීමට නියමිත ගුවන් යානාවට ගොඩ නොවී ගුවන්තොටුපොළේ සැඟවී තිබේ. ඒ පිළිබඳ ජාත්‍යන්තර පොලිසිය සහ ජාත්‍යන්තර බුද්ධි අංශ මගින් සෞදි බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව ගුවන් තොටුපොළේ සැඟව සිටි මිල්හාන් සෞදි පොලිසිය එදිනම අත්අඩංගුවට ගෙන තිබිණි. එදින සවස මෙරටට පැමීණීමට නියමිතව තිබුණු ගුවන්යානාවකින් ඔහුව මෙරටට පිටුවහල් කරන බව සෞදි බලධාරීන් දැනුම් දුන්නද සතියක් යන තුරුම මිල්හාන් මෙරටට පිටුවහල් කිරීමක් සිදු නොවීය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් රාජ්‍ය බුද්ධි සේවයේත් නිලධාරීන්ගෙන් සැදුම්ලත් විශේෂ පොලිස් කණ්ඩායමක් සෞදිය බලා ගියද සතියකට පසු ඔවුන් නැවත මෙරටට පැමිණියේ හිස් අතිනි.

රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් පසු මෙවර මිල්හාන් මෙරටට භාරදීමට සෞදි බලධාරීන් සිය එකඟත්වය පළ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමත් පෙරේදා (11) පිටත්ව ගොස් ඇත්තේ ඒ අනුව බවත් ආරංචි මාර්ග අනාවරණය කළේය.

[ගයාන් කුමාර වීරසිංහ]

මාතෘකා