වෛරී දේශපාලනයෙන් රටේ සංවර්ධනය අඩාළ කරන්න දෙන්නේ නැහැ : ජනපති

වෛරී දේශපාලනයෙන් රටේ සංවර්ධනය අඩාළ කරන්න දෙන්නේ නැහැ : ජනපති

රට ගොඩනංවන වාපි, කෘෂි, අධ්‍යාපන සහ කර්මාන්ත සංග්‍රාම යටපත් කරමින් මතුව ඇති වෛරයේ සහ පෞද්ගලික දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට දරන සංග්‍රාම හේතුවෙන් රටේ සංවර්ධනය යටපත් වී ඇති බවත් මෙම පෞද්ගලික දේශපාලන අරමුණුවලට රටේ සංවර්ධනය සහ ජනතා අවශ්‍යතා යටපත් කිරීමට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සාරවත් දේශයක වාපි සංග්‍රාමය, එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක අවස්ථාවට ඊයේ (12) එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පරිසරය සහ වන සම්පත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමන් තීන්දු තීරණ රැසකට එළැඹියේ රටේ ජනතාවගේ හුස්ම ගැනීමේ අයිතිය තහවුරු කිරීමට බවයි. එම තීන්දු තීරණ පිළිබඳ තමාට පහර දෙමින් අපවාද එල්ල කළද වන සම්පත රැක ගැනීමේ වගකීම කිසිවකුට බැහැර කළ නොහැකි වගකීමක් බවට අද පත්ව තිබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රටක් ලෙස අපට ඉදිරියට යා හැක්කේ රටේ කෘෂිකර්මාන්තය ගොඩනංවා ගොවියා ශක්තිමත් කිරීමෙන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට වාපි ක්ෂේත්‍රය සහ කෘෂි ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටුකළ හැකි සෑම වගකීමක්ම ඉටුකරමින් අතීත ශ්‍රී විභූතිය රටට උදාකර දීමට කැපවන බව ද අවධාරණය කළේය.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා