පොසොන් සමයේ බැතිමතුන් සුරකින්න 8,000ක බළකායක් සූදානම්

පොසොන් සමයේ බැතිමතුන් සුරකින්න 8,000ක බළකායක් සූදානම්

2019 පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරයේ වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා 8,000ක පමණ ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් යෙදවීමට බලාපොරොත්තු වන බව උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පති සෙනරත් සඳුන්ගහවත්ත මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් 4,000ක්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 2,000ක්, සිවිල් ආරක්ෂක භටයන් 2,000ක් ආදී වශයෙන් මෙසේ ආරක්ෂාව සඳහා යෙදවීමට නියමිතය. එසේම සුවිශේෂී රථවාහන සැලැස්මක්ද නගරය පුරා ක්‍රියාත්මක කරන අතර ඒ යටතේ මාර්ග බාධක ප්‍රමාණයද වැඩි කර ඇත.

ඕනෑම තර්ජනයකට මුහුණ දිය හැකි ආකාරයේ මාර්ග බාධක රාජකාරී පද්ධතියක්ද සූදානම් කර ඇති අතර අටමස්ථාන භුමිය පමණක් නොව, අනුරාධපුර ප්‍රධාන නගරයත් ආරක්ෂක කලාපයට ඇතුළත් කර විශේෂ මාර්ග බාධක 15ක්ද මේ යටතේ සකස් කර තිබේ.

ඒ අනුව රථ වාහන ගාල් කරන ස්ථාන 19ක් පමණ හඳුනාගෙන ඇති අතර එහි රථ වාහන 6,000ක් පමණ නවතා තැබීමටද කටයුතු සලසා ඇත.

[අමිල ප්‍රභාත් වනසිංහ]

මාතෘකා