ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වෙයි

 ඡායාරූපය:

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වෙයි

 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (09) උදෑසන ශ්‍රී ලංකාවට සැපත් විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පසුගිය මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමි කර ගැනීමට සමත් වූ අතර සිය දෙවන පදවි ප්‍රාප්තියෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ප්‍රථම වරටය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ උත්සවය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරු සහ උසස් නිලධාරීහු පිරිසක් එක්වූහ. නායකයන් අතර නිල හමුවෙන් අනතුරුව පැවැත්වෙන අතර විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිළිගැන්වීමටද නියමිතය.

දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතා පළමු රාජ්‍ය තාන්ත්‍රික හමුවට එක් වූයේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ වන අතර එහිදී කළ නිල ආරාධනය පරිදි එතුමා මෙම සංචාරයට එක් වෙයි.  මේ අතර පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු විදේශීය රාජ්‍ය නායකයා වන්නේද ඉන්දීය අග්‍රාමාත්‍යවරයායි. දෙරට අතර අතීතයේ පටන් පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගිතාවය සෑම ක්ෂේත්‍රයකින්ම ඉහළ නංවා ගැනීමට එතුමාගේ මෙම සංචාරය බොහෝ සෙයින් ඉවහල් වනු ඇත.