‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ හෙට අනුරාධපුරයේ

 ඡායාරූපය:

‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ හෙට අනුරාධපුරයේ

ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සහ රජයේ සංවර්ධන කාර්යයන් ජනතාවට වඩාත් සමීප කරවීම අරමුණු කරගත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ දෙවැනි අදියර හෙට (24) අනුරාධපුර දිස්ත්‍රික්කයේ වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

එළඹෙන 27 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය කලාප 12ක ප්‍රදර්ශන කුටි 400කට අධික සංඛ්‍යාවකින් සමන්විතය. මුදල් අමාත්‍යාංශය විසින් මෙය සංවිධානය කරයි.

ප්‍රදර්ශන භූමියට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත පාසල් සහ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන් අධ්‍යාපන කලාපය වෙන් කර ඇත. පාසල් විෂයානුබද්ධ කටයුතුවලට අදාළ පොත්පත් විශේෂ වට්ටම් සහිතව මෙහිදී අලෙවි කෙරේ. මෙම ප්‍රදර්ශනය නැරැඹීමට එන අයට පහසු මිලට භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාවද හිමි වේ. මෙයට අමතරව නව නිපැයුම්කරුවන් වෙනුවෙන් වෙනම කලාපයක් වෙන් කර තිබේ. සම්මානලාභී නව නිපැයුම්කරුවන් සහ උතුරු මැද පළාතේ නව නිපැයුම්කරුවන්ට මෙහිදී ප්‍රමුඛ අවස්ථාවක් හිමි වේ.

මීට අමතරව විදේශ කොන්සියුලර් සේවාවන්, නීති ආධාර සේවා, වෘත්තිය පුහුණු වැඩසටහන්, සෞඛ්‍ය වැඩසටහන් මෙන්ම මාධ්‍ය ආයතන සඳහාද වෙන්වූ කුටි රාශියකින් මෙය සමන්විත වේ. සෑම දිනකම පෙරවරු 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය තුළ දිවයිනේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම් සහ ජනප්‍රියතම ගායන ශිල්පීන් සහභාගී වන සංගීත ප්‍රසංගයක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මාතෘකා